Unframed
- පැතුම් රණසිංහ -
පේරාදෙණියෙ විශ්වවිද්‍යාලයේදි "විකල්ප" කියලා සංවිධානයක් මහා ශිෂ්‍ය සංගමයේ කීප දෙනෙකුත් හවුල් කරගෙන පවත්වන්න ගිහිපු ඡායාරූප ප්‍රදර්ශනයක් පොදු ශිෂ්‍ය විරෝධය මත අවලංගු කරලා තියනවා.
සාමාන්‍යයෙන් මේ විශ්වවිද්‍යාල ඇතුළෙ කෙරෙන වැඩකට බහුජාතික සමාගම්වලින්, පෞද්ගලික අධ්‍යාපන ආයතනවලින් ලැබෙන අනුග්‍රාහකත්වයන් පවා පිළිකුල් කෙරෙනවා. එහෙම කිරීමේ පදනම තමයි ඒවා ධනේෂ්වරයේ මෙවලම් ය කියන එක. ඒත් කිසිම හිරිකිතයකින් තොරව ඒ ශිෂ්‍ය සංගම් විසින්ම NGO මැදිහත් වීම් ඉතා උත්කර්ෂයෙන් වැළද ගන්නවා. බොහෝ විට සිදුවෙන්නේ මේ කියන ශිෂ්‍ය සංගම් ක්‍රියාකාරිකයන් කිසිම විචාරකින් තොරව NGO වල ක්‍රියාකාරිකයන්ගෙ ඊනියා රැඩිකල් ප්‍රචාරණයට හසු වීම. මේ අතර බොහෝ දෙනෙක් තමන් අවසාන වශයෙන් සේවය කරන්නෙ කාටද කියන ගැන අවබෝධයක් නැති අය.
"විකල්ප" තමන්ගේ ඡායාරූප ප්‍රදර්ශනයත් ඔසවාගෙන පේරාදෙණියට යන්නෙ රාජ්‍ය අනුග්‍රාහකත්වයෙන් බෙදුම්වාදී මත සමාජගත කෙරෙන සන්දර්භයක. හිටපු ත්‍රස්ත කාඩරයන් වීරත්වයට පත් කෙරෙමින් ඔවුන්ගේ ක්‍රියාකාරීත්වය සාධාරණීකරණය කෙරෙමින් සහ සාමාන්‍යකරණීකරණය කෙරෙමින් පොදු මහජන බදු මුදලින් වන්දි ගෙවීමට සැරසෙන යුගයක් තුළ. විශේෂයෙන් බෙදුම්වාදය යුධමය වශයෙන් පරාජය කළ සන්නද්ධ හමුදා සොල්දාදුවන්ගේ මොරාල් ඩවුන් කරන මිලිටරි ශෝධනයක් ක්‍රියාත්මක වෙන ව්‍යුහයක් තුළ. ඒ නිසා පේරෙ මේ කරන්න ගිහිපු "විකල්ප" ඡායාරූප ප්‍රදර්ශනය එක් හුදෙකලා සිධියක් නෙවෙයි. සිද්ධි දාමයක තවත් එක් ප්‍රචාරණාත්මක ඉසව්වක්. ඊට විරුද්ධව සාකච්ඡාමය වශයෙන් පෙනී සිට "විකල්ප" ප්‍රචාරණය නතර කළ පේරෙ සහෝදරවරුන් හුදෙකලා නොකළ යුත්තේත් ඒ නිසාමයි.
බොහෝ සරසවි සිසුන් මේ යතාර්ථය අවබෝධ කරගෙන නැහැ. ජන සමාජයක් ලෙස අපිට ඉදිරියට යන්නට පුළුවන් ඒකීය රටක් තුළ පමණයි. යම් හෙයකින් බලය බෙදීමක් සිදු වුවහොත් ඉන් පසු තවත් පරම්පරා ගාණක් ඉදිරියට ඇදෙන දේශසීමා යුද්ධයක් අපිට ඉතිරි වේවි. ජාත්‍යන්තර කලාපීය දේශපාලනය නිසැක වශයෙන්ම ඒ සඳහා උත්ප්‍රේරක සපයනවා. යුද්ධයෙන් දිනා ගැනීමට නොහැකි වුණු "වෙනම රාජ්‍යය" ව්‍යවස්ථා සංශෝධනා හරහා සිදු කරගැනීමට අපි ඉඩ නොතැබිය යුතුයි. එය විශේෂයෙන් වර්තමානය තරුණ පරපුර මත පැටවුණු ප්‍රගතිශීලී වගකීමක්. ඒ වගකීම ඉටු කිරීමේදී මෙවැනි ප්‍රවර්ධනය කිරීම්වලට එරෙහි වීම කළ යුතුමයි.
ජ'පුර සරසවියෙදි මීට වසර කීපයකට පෙර පැවැත්වුණු කළා උළෙලකට සමගාමීව මේ වගේම "විකල්ප" කාව්‍ය විචාරයක් පැවැත්වුණා. එහිදී ශිෂ්‍ය සංගම් මෙහෙයවන දේශපාලන පක්ෂයකට සම්බන්ධ එක් "කවියෙක්" කියා සිටියේ මේ සියවසේ මහා ජන සංහාරයට අණ දුන් සිංහල බසින් කවි ලිවීම පවා තමන්ට වේදනාකාරී බවයි. පසුව ඒ ප්‍රකාශය ප්‍රශ්න කරමින් සංවාද සභාවෙන් අදහස් මතු කරන විට තවත් එක් විකල්ප "කිවිඳියක්" ප්‍රකාශ කර සිටියේ සංවාද සභාවේ සිටි අපට සාහිත්‍ය නොතේරෙන බවයි.
පේරේ සිදුවුණු උක්ත "සාකච්ඡාව" කලාව වාරණයක් ලෙස අර්ථ නිරූපණය කිරීමට සමහර කල්ලිවාදී පිරිස් උත්සාහ කරනවා. ඒ සමහර ජ්‍යෙෂ්ඨ ආචාර්‍ය, න්‍යායාචාර්‍යවරුන්ගේ ඉතිහාසය මදක් පිරික්සා බැලීමට මම ඔබට ආරාධනා කරනවා. ඔවුන් බොහෝ දෙනෙක් යුද්ධය තම බඩ වියත සරි කරගැනීම සඳහා පාවිච්චි කළ අය. යාපනේදි මීට නුදුරු දිනෙක පැවැත්වුණු සිනෙමා උළෙලකදි එක්තරා චිත්‍රපටයක් වාරණයට ලක් වුණා. ඒ එයින් බෙදුම්වාදී ත්‍රස්ත සංවිධානයක අඳුරු පැතිකඩක් විවරණය කිරීම නිසා. එහෙත් ඒ අවස්ථාවේදී මේ "කලාකාමීන්" ඒ වාරණයට විරුද්ධ වුණේ නැහැ.
පේරෙ ශිෂ්‍ය සාහිත්‍ය උළෙලේ ස්ලෝගන් එක "මාගේ දේශය් අවදි කරනු මැන - 2018". මාගේ දේශය අවදි කළ යුතු වන්නේ "ඒ වූ නිදහසේ ස්වර්ග රාජ්‍ය වෙත ගමන් කිරීමටයි". පොදු ශිෂ්‍යා සමඟ බුද්ධිමය සංවාදයකින් යුතුව ඒ මාර්ගයේ ගමන් කිරීම සඳහා පේරාදෙණියේ සාහිත්‍ය අනු කමිටුවට ඉත සිතින් සුබ පතනවා.

Comments
Post a Comment