ශිෂ්ටත්වය වෙනුවෙන් සැබෑ මහජන මතය විමසා මහ ඡන්දයකට නොයන්නේ ඇයි
එහාට මෙහාට ඔලු මාරු කරමින් මේ කරගෙන යන දේශපාලන බල සූදුව මට නම් ඉතා අප්‍රසන්න ජනකය. එසේම රනිල්, මංගල, රාජිත, පාඨලී, හකීම්, බදුර්දීන් ඇතුළු කුමන්ත්‍රණකරුවන් නඩය නැවත බලයට පත් වන්නේ නම් එය ඊටත් වඩා අප්‍රිය ජනකය.
මේ තාක් කල් රනිල්ලා අපිට පෙන්වූ තරු පහේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් රෙදි නැතුව පෙනී සිටි කොළඹ හතේ NGO කල්ලි දැන් කියන්නේ ශිෂ්ටත්වය සඳහා පාර්ලිමේන්තුව රැස් කරන ලෙසය. ඔවුන්ගේ ෆේස්බුක් බලකාය විසින් සමාජගත කිරීමට උත්සාහ කරන්නේද එයයි. බටහිර අධිරාජ්‍යවාදී බලවතුන් තානාපති කාර්‍යාල හරහා බලපෑම් කරන්නේද වහා පාර්ලිමේන්තුව රැස් කර ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරන ලෙසය.
එහෙත් නැවත පාර්ලිමේන්තුව රැස් කිරීමෙන් අපට ලැබෙන ප්‍රජාතන්ත්‍රවාදයක් තිබේද?
එහි ප්‍රජාතන්ත්‍රවාදයක් නොමැති කමින් මෙතෙක් කල් පීඩා වින්දෝ අපි වෙමු. රට වෙනුවෙන් සටන් කළ සොල්දාදුවන් මිනීමරුවන් කරමින් ද, මිනීමරු ත්‍රස්තවාදීන් වීරයන් සේ සළකා වන්දි ගෙවීමට නියම කළේද මේ 15 වන පාර්ලිමේන්තුව තුළදීය. රටේ ජනතා ප්‍රශ්න හාස්‍යට ලක් වූයේද මේ පාර්ලිමේන්තුව තුළදීය. ෆෙඩරල් ව්‍යවස්ථාව ඉදිරිපත් කොට කඩිනමින් සම්මත කිරීමට පසුබිම සකස් කළේද මේ පාර්ලිමේන්තුව තුළදීය. කාරක සභා අවස්ථාවන්වල සංශෝධන ගෙන එමින් මේ පාර්ලිමේන්තුව තුළ කූට ලෙස සම්මත කළ පනත් ගණන කොපමණ ද.ඒ අණ පනත් වලට දෙඅත් ඔසවා ඡන්දය පාවිච්චි කළ උන් සමඟ මට නම් එකට සිටගත නොහැක.පවතින පාර්ලිමේන්තුවෙන් පිළිබිඹුවන ප්‍රජාතන්ත්‍රවාදයක් නැත.
තත්වය එසේ නම් මේ කිසිවෙක් සැබෑ ජනමතය උරගා බැලීම සඳහා පාර්ලිමේන්තුව විසුරවා හැර හැකි ඉක්මනින් මහ මැතිවරණයක් වෙත යන ලෙස ඉල්ලා නොසිටින්නේ ඇයි ?
පාර්ලිමේන්තුවේ මංත්‍රීවරුන්ගේ 2/3 ක එකඟත්වයෙන් පාර්ලිමේන්තුව විසුරවා හැර මහ මැතිවරණයකට යාමේ අවස්ථාව උදා කර ගත හැකිය. ඒ සඳහා කවුරුන් එකඟ වේද නොවේද මම නොදනිමි. එහෙත් එය ජන මතයක් ලෙස ගොඩ නැගිය යුතු යැයි විශ්වාස කරමි.
පාර්ලිමේන්තුව විසුරවා හැරීමේ යෝජනාවකින් මුලින්ම නෝක්කාඩුවට පත් විය හැක්කේ පක්ෂ විපක්ෂ භේදයකින් තොරව ආධුනික මංත්‍රීවරුන් ය. ඒ වසර 4 කට පෙර පාර්ලිමේන්තුව විසිරුවා හැරියොත් ඔවුන්ට හිමි මංත්‍රී විශ්‍රාම වැටුප ද අහිමිවන නිසාය. නමුත් සුළු ජනතා බලපෑමකින් පාර්ලිමේන්තුව විසිරවීම සඳහා අවශ්‍ය 2/3 වෙනුවෙන් ඔවුන්ගේ ඡන්දය ලබා ගැනීමට හැකි වනු ඇත.
දෙමළ ජාතික සංධානය කඩිනම් මහ මැතිවරණයකට අකමැති වන්නේ විග්නේෂ්වරන්ගේ නව පක්ෂය සමඟ ඇති දෙමළ ජාතික සන්ධානයේ උතුරේ බල අරගලය තවමත් නිශ්චිත කෙළවරක් වෙත පැමිණ නැති හෙයිනි. කඩිනම් මැතිවරණයක් ඔවුන්ට අවාසි සහගත ප්‍රතිපල අත්කර දෙනු ඇත.
පෙරටුගාමී වැනි තවම පාර්ලිමේන්තු නියෝජනයක් නොමැති පක්ෂයකින් කඩිනම් මහ මැතිවරණක් පිළිබඳව ඇති අදහස ගැන විමසුවහොත් "පවතින ක්‍රමය වෙනස් නොකර ප්‍රතිසංස්කරණවාදී පැලැස්තර දැමීමෙන් මහජනයාට වන යහපතක් නැත" වැනි පිළිතුරක් ලැබෙනු ඇත.
එහෙත් ජනතා විමුක්ති පෙරමුණ කඩිනම් මැතිවරණයක් සඳහා ඉල්ලීම් නොකොට පාර්ලිමේන්තුව රැස් කර ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරන්නට යැයි ඉල්ලීම් කරමින් සිටින්නේ ඇයි?
ජවිපෙ ෆේස්බුක් ක්‍රියාකාරීන් සඳහන් කරන අන්දමට ප්‍රධාන ධනපති පක්ෂ දෙකම අර්බුදයට ලක් වී ඇති නිසා මේ උදා ඇත්තේ ජවිපෙ දේශපාලනය සඳහා සුදුසුම පසුබිමයි. ඒ අනුව යළි පාර්ලිමේන්තුව රැස් කරන ඔක්තෝබර් 16 දිනදී සිදු වන්නේ ඒ ප්‍රධාන ධනපති පක්ෂ 2 න් එකක් නැවත බලය තහවුරු කරගැනීම පමණි. ඉතින් ජවිපෙට අවශ්‍ය ඒ පක්ෂ දෙකෙන් එකක බලය තහවුරු වීමට ඉඩ හැරීමද ?
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 15 වන පාර්ලිමේන්තුව යනු අමු විකෘත්තියකි. එය තවදුරටත් පවත්වාගැනීම කුපාඩිකමකි. පසුගිය පෙබරවාරියේ පැවති පළාත් පාලන මැතිවරණයේදී පවතින පාර්ලිමේන්තුවට එරෙහිව ඇති විරෝධය මහජනයා විසින් පෙන්වා දුන්නේ නැද්ද ?
ඉතින් දූෂිතයන් පිරුණු මේ පාර්ලිමේන්තුව තවදුරටත් පවත්වාගැනීමට අවශ්‍ය වී ඇත්තේ කාටද ?
දැන් දැන් සිදුවන ආකාරයේ දේශපාලන සූදු කෙළි වලින් කිසිඳු කණ්ඩායමකට වන යහපතක් නැත. ඒ බව ජාතිකවාදීන් ද තරයේ සිහි තබාගත යුතුය.
එසේම ප්‍රජාතන්ත්‍රවාදය සහ ශිෂ්ටත්වය අපේක්ෂා කරන සියල්ලන් විසින් කළ යුත්තේ මහ මැතිවරණයක් වෙනුවෙන් පාර්ලිමේන්තුව විසිරුවාගැනීමට අවශ්‍ය ජන මතයක් ගොඩ නැගීම බව අවසාන වශයෙන් යෝජනා කරමි.
- පැතුම් රණසිංහ -

Comments
Post a Comment