සරසවියේ ජාතිකවාදය
පේරාදෙණිය
සරසවියේ ‘මාගේ දේශය අවදි කරනු මැන කලා උළෙලට’ සමගාමීව පවත්වන්න සැළසුම් කරපු ‘විකල්ප’
නම් සංවිධානයක ඡායාරූප ප්‍රදර්ශනයක් ශිෂ්‍යන් අතුරින්ම පැන නැගුණු විරෝධතාවයක්
නිසා අවලංගු කරන්නට සිදු වෙලා තිබෙනවා. මේ පිළිබඳව අන්තරේ හිටපු කැඳවුම්කරුවෙකු වන
නජිත් ඉන්දික සහෝදරයාගෙ ලියමනක් දකින්න ලැබුණා (එම ලිපිය මේ ලියමනෙහි අග අමුණා ඇත). 2014 දි සරසවි ප්‍රවේශය ලබපු අපිට
අපේ උඩ බැජ්වල ශිෂ්‍ය නායකයො අපෙන් වසන් කරපු, අපේ සමකාලීන ශිෂ්‍ය නායකයන්
පිළිගන්න මැලි වුණු, අපෙන් පසුව ආපු බැජ්වලින් බිහිවුණු නායකයො නොදන්න (හිතාමතා
අමතක කරන) ඉතිහාසයකුත් නජිත් සහෝදරයා ඒ ලිපියෙන් විවරණය කරනවා.
නජිත්
දකින විදියට ලාංකේය සරසවි ශිෂ්‍ය ප්‍රජාව තුළ අද වෙනතුරුම ශේෂව පවතින ජාතිකවාදී
අභිලාෂයන්ට හේතුව, ජනතා විමුක්ති පෙරමුණ 80 දශකයේ පටන් දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය
හරහා, මව්බිම සුරැකීමේ ශිෂ්‍ය සංවිධානය හරහා ශිෂ්‍ය ව්‍යාපාරයට කරපු බලපෑම. නජිත්
එය ඉදිරිපත් කරන්නේ ඔවුන් (ජවිපෙ, පෙරටුගාමී ඇතුළු වාම පක්ෂ) වෙතම ඉදිරිපත් කරගන්න
ස්වයං විවේචනයක් විදියට. ඔහු කියන විදියට 80 දශකයේ ජවිපෙ ඉන්දියානු ව්‍යප්තවාදයට
එරෙහිව, බෙදුම්වාදයට එරෙහිව ශිෂ්‍යන් පෙළ ගස්වන්න පෙර ඒ ශිෂ්‍යන් තුළ ජාතිකවාදී
අභිලාෂයන් තිබිලා නැහැ. මගේ අදහස නම් නජිත් සහෝදරයා එතැනදී හිතා මතාම අපිව නොමග
යවන්න උත්සාහ කරනවා.
80
දශකයේදී සිදු වුණේ ඓතිහාසිකව ලංකා ජන සමාජය තුළ ගලාගෙන ආපු ජාතිකවාදී ප්‍රවාහය
එක්තරා අවස්ථාවකදි නිශ්චිත වශයෙන් ජනතා විමුක්ති පෙරමුණ නමැති දේශපාලන ව්‍යාපාරය
සමඟ සමපාත වීම. එහෙමත් නැත්නම් ගම් නියම්ගම් පුරා පැතිරී ගිය අපේක්ෂා භංගත්වයට
පත්වුණු ජාතිවාදී හිස් උපක්‍රමශීලි විදියට තමන්ගේ දේශපාලන අරමුණු වෙනුවෙන් ජවිපෙ
පාවිච්චි කළා කියලත් කෙනෙකුට කියන්න පුළුවන්. කෙසේ වෙතත් ඒ අවිචාරවත් සමපාත වීම
හරහා ලාංකේය ජාතික ව්‍යාපාරය අවුලකට වැටුණු බව නිසැකයි.
බෙදුම්වාදය
සමඟ එකඟ වෙමින් කොළඹ සරසවියෙදි ස්වාධීන ශිෂ්‍ය සංගමයේ මැර බලය පිහිටුවපු දයා
පතිරණව ජවිපෙ විසින් ඝාතනය කළ බව සිහිපත් කරන නජිත් සහෝදරයා තවදුරටත් සඳහන් කරන්නෙ
පිටතින් පැමිණි ජවිපෙ අතළොස්සක් විසින් විවිධ අසීරුතා මධ්‍යයේ කොළඹ සරසවිය තුළ
දේශප්‍රේමී ශිෂ්‍ය ව්‍යාපාරය පිටුවපු බව. ඒ අනුව කෙනෙකුට හිතෙන්න පුළුවන් ජවිපෙ
කොළඹ සරසවියෙ බලය ලබාගන්න තෙක් එහි කිසිඳු ජාතිකවාදියෙක් නොසිටි බව. නමුත් සත්‍යය
එය නෙවෙයි. ජවිපෙ සමඟ කිසිදාක බද්ධ නොවුණු ජාතිකවාදී ශිෂ්‍ය කණ්ඩායමක් ඒ වන විටත්
කොළඹ සරසවියෙ විද්‍යා පීඨයේ බලය අල්ලාගැනීමට සමත් වෙලා තිබුණා. එකතරා අවස්තාවකදි
ස්වාධීන ශිෂ්‍ය සංගමය සමඟ ගැටෙමින් දයා පතිරණලාගේ බලය සීමා කරන්නත් ඒ විද්‍යා පීඨය
මූලික කරගත් ශිෂ්‍ය ක්‍රියාකාරිකයන්ට පුළුවන්කම ලැබුණා. ඉතාම පැහැදිලි ලෙස 88 පමණ
වන විට ජවිපෙ බලය කොළඹ තුළ තහවුරු කරගන්නට ඒ ක්‍රියාදාමය පිටිවහලක් වුණා.
නජිත් එක්
තැනක සඳහන් කරනවා 2012 පමණ වන විට නවක සිසුන්ට අන්තරේ කැඳවුම්කරු ලබාදෙන සම්ප්‍රදායික
දේශනයේ ඇතුළත් ජාතිකවාදී උත්කර්ශය ඉවත් කරන්නට තමන්ට හැකි වුණු බව. නමුත් අන්තරේ
සාම්ප්‍රදායික විරු සිසු සමරුම්වලින් දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයේ සන්නද්ධ කාඩර්වරුන්
ලෙස කටයුතු කළ සරසවි ශිෂ්‍ය නායකයන් ඉවත් කරන්නත් 2012 න් පසු අන්තරයේ සහ ඊට
දේශපාලන නායකත්වය සපයන පෙරටුගාමී පක්ෂයේ මතයට වඩාත් ආසන්න වන දයා පතිරණත් ඔහුගේ
අනුප්‍රප්තිකයන් ලෙස ජවිපෙ මර්ධනයේ වැදගත් කාර්යභාරයක් ඉටු කළ ධර්මසිරිලාවත් එම
සැමරුමට ඇතුළත් කරන්නත් නජිත්ලට තාම බැරි වෙලා. නජිත්ලට ස්ථිර වශයෙන් ශිෂ්‍ය ව්‍යාපාරයේ
ජාතිකවාදී ඉතිහාසයෙන් ඔවුන්ගේ ‘නව’ ශිෂ්‍ය ව්‍යාපාරයේ සීමාව බෙදා වෙන්කර ගැනීමට
අවශ්‍ය නම් ඔවුන් ඒ වාමජාතිකත්වය (නජිත්ගේ වචනයෙන්) නියෝජනය කරන ඝාතනය වුණු ශිෂ්‍යන්
සැමරීම අත්හළ යුතු නැද්ද ? එහිදී වාමජාතිකත්වය නියෝජනය කළ “සිසු විරුවන්ව” සහ
නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් පමණක් කටයුතු කළ “සිසු” විරුවන්ව නිශ්චිතව හඳුනා ගැනීමට
නොහැකි වීමේ අර්බුධයකට නජිත්ලා මුහුණ දීලද ?
සරසවි
ශිෂ්‍ය මතය කියන්නෙ නජිත් දකින විදියට ශිෂ්‍ය පරම්පරාවකින් තවත් පරම්පරාවකට උරුම
වෙන දෙයක් කියන එක මම නම් පිළිගන්නෙ නැහැ. ශිෂ්‍යන් සරසවිය තුළට එන්නෙම තමන් අත්
විඳි සමාජයෙන් යම්කිසි දෙයක් උකහගෙනයි. ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යන්ට නවකයන්ගේ මතය වෙනුවෙන්
යම් බලපෑමක් කරන්න බැහැයි කියන එක එයින් අදහස් වෙන්නෙ නැහැ. ඉතින් විශ්වවිද්‍යාල
ශිෂ්‍යයා තුළ වර්තමානය දක්වාම පවතින ජාතිකත්වයේ සංරචක වලට නජිත්ලා (ජවිපෙ,
පෙරටුගාමී සහ ඔවුන්ගේ මුතුන් මිත්තන්) වගකීම බාරගන්න කරදර වෙන්න අවශ්‍ය නැහැ.
පෙරදී තිබුණා වගේම, වර්තමානයේ තිබෙනවා වගේම අනාගතයේදිත් ජාතිකවාදීන් සරසවි තුළ ක්‍රියාත්මක
වීම නජිත්ලට යටපත් කරන්නට බැහැ. හැබැයි අවශ්‍ය නම් නජිත්ලාගේ දේශපාලන මුතුන්
මිත්තන් වගේම ජාතිකවාදය අවභාවිතා කිරීමේ භව්‍යතාවය නජිත්ලට තියනවා.
තමන්ගේ අදහස්
දැක්වීමේ මුල්ම කොටසින් නජිත් ඒත්තු ගන්වන්න උත්සාහ කරන්නෙ සරසවියෙ බහුතරය නජිත්ලට
විරුද්ධ බව. එහි යම් සත්‍යතාවක් තියෙන්න පුළුවන්. හැබැයි ඒ විරෝධතාවය තියෙන්නෙ
සරසවි ශිෂ්‍යන් අති බහුතරය ජාතිකවාදීන් නිසා නම් නෙවෙයි. වර්තමානයේදි සරසවි ශිෂ්‍ය
ප්‍රජාව අතුරින් අති බහුතරය දේශපාලන වශයෙන් නිෂ්ක්‍රීය බව ඔබත් මමත් පිළිගත
යුතුයි. ඒ නිෂ්ක්‍රීය භාවයේ වගකීම නම් නජිත් ඇතුළු නජිත්ගේ දේශපාලන මුතුන් මිත්තන්
විසින් බාරගත යුතුයි.
පේරාදෙණිය
ශිෂ්‍ය ශිෂ්‍යාවන් වැරදිද?
..................................................................
මේ
සිද්ධිය සම්බන්දයෙන් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ අදාළ සිසුන්ට චෝදනා කිරීම තේරුමක්
නැහැ. මේ ප්‍රදර්ශනය වෙනුවෙන් පෙනී ඉන්න අපේ හිතවත්තු කියලා තියෙනවා දැක්කා
ශිෂ්‍යන් "සුළුතරයක්" මෙයට විරුද්ධ වුනා කියලා. මට තේරෙන විදියට නම් ඒක
සුළුතරයක් නෙමෙයි. ඒ තමයි බහුතරය. කතා කරන්න ඇත්තෙ සුළුපිරිසක් වෙන්නැති. මේ
කාරණයේ සුබවාදීව හිතන්න තියෙන දේ තමයි පසුව ඉවත් කරන්න සිදුවුනත්, ශිෂ්‍ය
සංගමයේ සුළුතරයක් හෝ මෙය පැවැත්වීමට ආරම්භයේදි කටයුතු කිරීම.
ඒ වගේම
අපි මේ ගැන පුදුම වෙන්න දෙයක් නැහැ. විය නොහැක්කක් වුණා වගේ හැසිරෙන්න උවමනාවකුත්
නැහැ. මේක තමයි විශ්වවිද්‍යාල ඇතුළේ තත්වය.
ශිෂ්‍ය ව්‍යාපාරයේ
"ඉතිහාසයක උරුමයක්" ලෙස බැහැර කරන්න බැරි තරම් කාවැදිලා තිබෙන
"නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් පෙනී සිටීම" වෙනුවෙන් ශිෂ්‍යශිෂ්‍යාවන් දහස්
ගණන් පාරට බැස්ස එක, බහින
එක ඇත්ත. ඒ ඉතිහාසගත උරුමය තිබෙනතාක් මෙන්ම, වර්තමානයේ
වාම දේශපාලන අවබෝධයක් ඇති සහ "ෆුල් ටයිම්" වැඩ කරමින් ඒ වෙනුවෙන් ලොකු
බරක් අදින ශිෂ්‍ය ක්‍රියාකාරීන් සුළුතරය සිටිනතාක්, නවලිබරල්
ආණ්ඩු විසින් අධ්‍යාපනය වෙළඳ භාණ්ඩයක් බවට පත් කිරීමට උත්සාහ කරනතාක් ඒ සටන් එලෙසම
පවතීවි. නමුත් එයින් විශ්වවිද්‍යාල සිසුන්ගේ
"දේශපාලනය" කියවාගන්න ගියොත් ඒක මහ මෝඩ වැඩක්!
සරලවම
කිව්වොත් මේ ගෙවන්නේ පහුගිය දශක තුන හතරක් තිස්සේ විශ්වවිද්‍යාලවල ක්‍රියාකාරී
වුණු "වාම දේශපාලනයේ" සීමාවේ වන්දිය. ජනතා විමුක්ති පෙරමුණ දශක තුනක්
ශිෂ්‍යව්‍යාපාරයත් සමඟ කළ "වාමජාතිකවාදී" දේශපාලනයේ අස්වැන්න තමයි මේ. ඒ
අස්වැන්නෙ තවමත් අධ්‍යාපන අයිතීන් වෙනුවෙන් සටන් වැදීම වැනි පොසිටිව් දේවල් වගේම, සිංහල
ජාතිකවාදී පදනමෙන් ජාතික ගැටළුව ආශ්‍රිත සියල්ල අර්ථකතනය කිරීම, NGO විරෝධය
ආදී සියල්ල තිබෙනවා. ඒ තමයි අපේ වර්තමාන ශිෂ්‍ය ව්‍යාපාරයේ උරුමය!
නිකමට
හිතලා බලන්න. මේ චායාරූප ප්‍රදර්ශනය පවත්වන්න යන්නේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ
වාර්ෂික කලා උළෙලට සමගාමීව. ඒකෙ නම "මාගේ දේශය අවධි කරනු මැන". ඒ කලා
උළෙල නිකන්ම බිහිවෙන එකක් නෙමෙයි. 88-89
කාල වකවානුවෙන් පසුව විශ්වවිද්‍යාලයක ආරම්බ වෙන පළමු කලා උළෙල. ඒක සංවිධාන
තීරණයක්! ඒ නම දාන්නෙ දැන් මේ ප්‍රදර්ශනේට විරුද්ධවෙන "බහුතරයක්"
සිසුන්ගේ ඒ කාලෙ මුතුන්මිත්තො වුනු එදා "බහුතරයක්" සිසුන් නෙමෙයි. ඒ නම
දාන්නෙම එදා "දේශප්‍රේමී අරගලය" කරලා, දරුණු
මර්දනයකට ලක්වෙලා,
ඉතිරි වෙච්ච රොඩුබොඩු එකතු කරන්, දැවැන්ත
අමාරුකම් මැද්දෙ නැවත හා හා පුරා කියලා දේශපාලනේ ආරම්බ කරන ජවිපෙ, පෙරටුගාමී
සහ අපේ මුතුන්මිත්තො,
බොහොම හිතලා බලලා. මේ ගැන යන සංවාදවල තැනක තිබුණා ඒ නම
යොදාගෙන කරන කලා උළෙලෙ "බෙදුම්වාදී" ප්‍රදර්ශන කරන්න දෙන්න බෑ කියලත්.
"අපි"
දශක ගාණක් විශ්වවිද්‍යාලවල අමාරුවෙන් හදපු මතයක් ඕක. සෑහෙන්න අමාරුවෙනුයි මේ මතේ
පැළකලේ. ඒක ලේසි ගමනක් නෙමෙයි. එදත් ශිෂ්‍යයෝ බහුතරේ ඔහොමම
තමයි. හරිම ඇට්ටරයි. අලුත් මතේකට ගේන්න ක්‍රියාකාරීන් වුනු සුළුතරේට සෑහෙන මහන්සි
වෙන්න වුනා. 80
දශකයේ මුල්කාලෙ වෙනකොට ජාතික ගැටළුව ගැන මෙහෙම සරලව එක මතයක් තිබ්බෙ නෑ. ලොකු
විවාද තිබුනා. සමහර විශ්වවිද්‍යාල වල බලය තිබ්බෙත් "ස්වයංනිර්ණය" පවා
පිළිගන්න ශිෂ්‍ය සංගම් වලට. ඒකට විරුද්ධව මතය හදන්න අපි නොකළ දෙයක් නෑ. දයා පතිරණ
මැරුවා. දේශප්‍රේමී
ශිෂ්‍ය සංගම් හැදුවා. ඉන්දු-ලංකා ගිවිසුමට විරුද්ධව යුද්ධ කලා. "පළමුව මව්බිම
- දෙවනුව ඉගෙනුම" කියලා සටන් පාඨ හැදුවා. ඊට
පස්සෙත් දිගටම අමාරුවෙනුයි ඒ මතය ඉදිරියට අරන් ගියේ. 2000 න්
පස්සෙත් ආණ්ඩුව සටන් විරාම ගිවිසුම ගහලා,
යුද්ධේ නැවතිලා තියෙන වෙලාවේ "මවුබිම සුරැකීමේ ශිෂ්‍ය
සංවිධානය" හැදුවා. හදලා,
යුද්ධෙ නවත්තලා තියෙන එකට විරුද්ධව උද්ගෝෂණ කළා.
එහෙමයි
මේක මේ තත්වෙට ගෙනාවෙ. විශ්වවිද්‍යාලයකට ගියපු බහුතරයක් දෙනා අහලා ඇති ෆස්ට් ඉයර්
එකේදිම අන්තරේ කැඳවුම්කරු තමන්ගේ විශ්වවිද්‍යාලයට ඇවිත් "ශිෂ්‍ය ව්‍යාපාරයේ
ඉතිහාසය" නමින් කරන පැය දෙක තුනක දීර්ඝ දේශනය. ඒකෙදි පවා ශිෂ්‍ය ව්‍යාපාරය ඒ
"දේශ්ප්‍රේමී අරගලයට" දායක වුනු හැටි අපි කිව්වෙ කොච්චර ආඩම්බරෙන්ද. (මේ
දේශනය 2012
වගේ වෙද්දි වෙනස් කරමින් එහි "ජාතිකවාදී උත්කර්ෂය" ඉවත් කළා.)
පක්ෂෙක, සංවිධිත
කුඩා කණ්ඩායමක මතය හැදෑරීම් කරලා ඉක්මනින් වෙනස් කරගන්නවා වගේ පුළුල් සමාජ ව්‍යාපාරවල
මත වෙනස් කරන්න බෑ. ඒක බොහොම හෙමින් සිද්ධ වෙන ක්‍රියාවලියක්. එහෙම අවුරුදු ගානක
අඛණ්ඩ අරගලයක ප්‍රතිඵලයක් විදියට තමයි ශිෂ්‍යන් බහුතරය මේ "ජාතිකවාදී"
මතයට ගෙනාවෙ.
දැන් කාට
හරි තර්ක කරන්න පුළුවන් "එහෙම නෑනෙ. මේ කාලය තුළ රටේ මතය වෙනස් වුනු විදියට
තමයි ශිෂ්‍යයනුත් වෙනස් වුනේ" කියලා. මේ නිශ්චිත කාරණාවෙදි ඒක එහෙමම නෙමේ.
මොකද රටේ මතය වෙනස් කිරීමටත් ලොකුම කාර්‍යභාරය කලේ අපි නිසා. යුද්ධයකින් තොරව, විශාල
ජනඝාතනයකින් තොරව මේ ගැටළුව විසඳන්න කළ සෑම උත්සාහයක්ම අනික් පැත්ත පෙරළන්න මූලික
වැඩ කොටසක් කලේ අපි නිසා. ඒක සටන් විරාමෙදි වගේම, සුනාමි සහන මණඩලය වගේ තැන් වලදිත් එහෙම තමයි. අපි ඒ ගැන
දැන් මෙහෙම හිතුවට "අපෙනුත්" බහුතරයක් තවම ඒ තීරණ ගැන හරියට ආඩම්බර
වෙනවා. 🙂
ඉතින්
සහෝදර සහෝදරියනි, අන්න
ඒ නිසා මේ නිශ්චිත ප්‍රශ්නයෙදි පේරදෙණිය විශ්වවිද්‍යාලයේ ඒ "බහුතරයක්"
සිසුන්ව වැරදිකාරයො කරන එකට,
ජාතිවාදීන් කියලා හංවඩු ගහන එකට මම නම් විරුද්ධයි. ඒක
ඔවුන්ට කරන අසාධාරණයක්.
ඒ බහුතරය
එතනින් වෙනස් කරන්න නම් අර වගේම ලොකු වැඩ කොටසක් "අපිට" කරන්න වෙනවා.
මොකද එදත් ඔහොම දේවල් උනා. 1986
අවුරුද්දෙ "අපි" දේශප්‍රේමී ශිෂ්‍ය ව්‍යාපාරය හදන්න කොළඹ විශ්වවිද්‍යාලයට
ගිය වෙලාවෙ "අපිට" ගහල එලෙව්වෙ,
බහුතරයේ ආශීර්වාදයෙන්. එහෙම තමයි ආරම්බය. අපි අද දවසේ
කරන දේවල්, හිටගෙන
ඉන්න තැන් වලට අනුව හෙට දවසේ අස්වැන්න ලැබෙයි. ඇඹරෙන්නෙ නැතුව ඒ වෙනුවෙන් වැඩ
කරන්න තමයි වෙන්නෙ.
අවසාන
වශයෙන්, මේ
සියල්ල මැද්දෙ දශක තුන හතරක වැරදි පාරකින් පස්සෙ "යූ ටර්න්" එකක් ගහන්න
උත්සාහ කරන වර්තමාන ශිෂ්‍ය ක්‍රියාකාරීන්ට ලොකු සැලියුට් එකකුත් ගහන්න මේක
අවස්ථාවක් කරගන්නවා. ඒ වගේම කලින් පරම්පරාව ගහපු "ටර්න්" එකට වඩා මේක
අමාරු "යූ ටර්න්" එකක් බවත්,
ඉතාම සැලකිල්ලෙන් ,
ඉවසීමෙන්,
නිර්මාණශීලීව කළ යුත්තක් බවත් නැවත සහෝදරාත්මකව මතක්
කරනවා.

Comments
Post a Comment