සීතාම්බර පටක වස්තුව


පවතින දේශපාලන වාතාවරණය හමුවේ නිරායාසයෙන් සිදු වී ඇති හෙළිදරව් වීම් කිහිපයකි. ඒ අතර ප්‍රජාතන්ත්‍රවාදය නම් සිතාම්බර පටකයෙන් සැරසී  රජකම් කළ පාලකයන්ගේ නිරුවත ද, ඒ නිරුවත දැක දැකත් එකී පාලකයන්ට ඔල්වරසන් නැගූ ප්‍රවේණි දාසයන්ගේ වහල් මනෝභාවය ද වෙති.

මහ බැංකු මංකොල්ලය පිළිබඳව ආන්දෝලනාත්මක විවරණයක් කිරීමට නියමිතව තිබූ ඩිව් ගුණසේකර කෝප් කමිටු වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙන විට, එදා පාර්ලිමේන්තුව කල් තබා රනිල්ව රැක ගත්තේ ද මේ ජනාධිපතිවරයාම ය. අද පාර්ලිමේන්තුව රැස් කොට ‘ප්‍රජාතන්ත්‍රවාදය’ සුරකින්නට යයි බණ දේශනා කරන විද්වතුන් එදා මෛත්‍රී ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව කල් තබා රනිල් රැක ගනිද්දී එම පිළිවෙත අනුමත කරමින් හුරේ දැමූවෝ වූහ. නැතහොත මුණිවත රැක්කෝ වූහ.

එදා ආණ්ඩුවේ ක්‍රියා පිළිවෙතට එරෙහිව දහස් ගණන්, ලක්ෂ ගණන් ශිෂ්‍යන් සහ පුරවැසියන් කොළඹ අගනගරයේ උද්ඝෝෂණ කරන විට පාරවල් තිබෙන්නේ උද්ඝෝෂණ කරන්නට නොවන බවත්, උද්ඝෝෂකයන්ට කකුල් කැඩෙන්නට පහර දිය යුතු බවත් සමාජ ජාල ඔස්සේ අපට පහදා දුන් ලිබරල්වාදියෝ අද රනිල්ගේ බලය රැක ගැනීම සඳහා දහස් ගණනින් කොළඹට පැමිණෙන ලෙසට මහජනයාට ආයාචනා කරති. වීථි සටන් කරන්නට යෝජනා කරති.

කුණුහරුපයකින් බැන වැදී හෝ පවතින පාලනයට එරෙහිව ඇති සිය කෝපය පිටකරගත් අසරණ නූගත් ගැමියන්ට බයියන් යයි අපහාස කළ ටයි කෝට් ඇදගත් ශුද්ධවන්ත මහත්වරුන් ජනාධිපතිවරයා ඇතුළු ප්‍රතිවාදීන්ට අමු තිත්ත කුණුහරුපෙන් බැණ වදිමින් ඔවුන්ගේ රීරි මාංශය උරා කෑමට සූදානම් බවට දෙස් දෙවොල් තබමින් සිටී.

අරලිය ගහ මැදුරේ පෝදා බණ ද, අසල පන්සලේ ශබ්ද විකාශන යන්ත්‍රයේ හඬ ද මහා කන්දොස්කිරියාවක් වූ නිරාගමික අලුත් පරපුරට හිටිහැටියේම පිරිත් ස්වර අම රස වී ඇත. තවමත් අරලිය ගහ මැදුරේ සති පිරිතකි. බලය පතා කෙරෙන තවත් යාග හෝම ගැන තොරතුරු කනින් කොනින් ආරංචි වෙමින් ඇත.

පසුගිය සමයේදී දේශප්‍රේමින් රට ජාතිය ආගම පිළිබඳව කතා කරන විට ඔවුන්ට වහලුන්, ළිං මැඩියන් ලෙස අවමන් කළ රැඩිකල් විචාරකයන් අද වන විට සිය පක්ෂය හැර නොයා පක්ෂය රැක ගන්නා ලෙසට එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලමින් සිටී.

මානව ප්‍රේමය ප්‍රස්තුත කරගෙන මියගිය ත්‍රස්ත කාඩරයන් වෙනුවෙන් නිතර දෙවේලේ කව් ගී පබදින කවියන් පෙරේරා තෙල් සංස්ථා භූමියේදී වෙඩි වැදී මිය ගිය පුද්ගලයන් පිළිබඳව තවමත් හාන්කවිසියක් වත් නොදන්නා සෙයකි.

මේ අතර විජාතිකයන්ගේ අනුග්‍රහයෙන් බලයට පත් වූ රනිල් වික්‍රමසිංහ දැන් ප්‍රසිද්ධියේම එම බටහිර රටවල තානාපතිවරුන් හමු වී කිනම් බලපෑමක් හෝ රටට සිදු කොට තමාව රැක ගන්නා ලෙසට ආයාචනා කරමින් සිටී. ඒ හා සමගාමීවම රනිල් සහ බටහිර බලවතුන් අතර ඇති අනියම් සම්බන්ධය රස කර කර මාර්කට් කරන්නට භාරගෙන සිටින්නේ මෙතෙක් දවස් තමන් මධ්‍යස්ත බව කියමින් බඩ පිනුම් ගැසූ ජාත්‍යන්තර විචාරකයන්ය.

2014 දී මහින්දගේ තුරුලෙන් රනිල්ගේ තුරුලට පැන්නා වූ මංත්‍රීවරුන්ව ප්‍රජාතන්ත්‍රවාදයේ සංකේත ලෙස උත්කර්ශයට නැංවූ මාධ්‍යවේදීන් හට අද ඒ මංත්‍රීවරුන්ම රනිල්ගේ තුරුලෙන් නැවතත් මහින්දගේ තුරුලට පනිද්දී පාවා දෙන්නන් බවට පත් වී ඇත.

සතුරාට පහර දිය යුත්තේ සතුරාට තේරෙන බසිනි. මහත්වරුන් ලෙස රඟපාමින් සිටි හොරුන් පැහැදිලි රේඛාවකින් බෙදා වෙන්කොට හඳුනාගැනීමට මේ මොහොතේදී හැකි වී තිබේ. ඔවුන් පිළිබඳව මතකයේ තබා ගත යුතුය. "මක්නිසාද තවත් නොබෝ දිනකින් මේ ව්‍යාජ උගත් බුද්ධිමත් මහත්වරුන් නැවතත් සිය සුපුරුදු සීතාම්බර පටක අනිවාර්යයෙන්ම පොරවාගන්නා බැවිනි."

-පැතුම් රණසිංහ-

Comments

Popular posts from this blog

නවක වධයට තිත තබමු

ජවිපෙ - ගමනක අග

තුමිදු දොඩම්තැන්න බබෙක් ද ? නැත්නම් අපි බබ්බු ද ?