අප තෝරාගෙන ඇත්තේ අසීරු මාවතයි
තවත් අවුරුද්දක් හෝ ඊට ආසන්න කාලයක් කල්
මරමින් සිට මහ මැතිවරණයකින් ඉතා පහසු ජයග්‍රහණයක් ලබා ගැනීමට මහින්දලාට ඉඩකඩ
තිබිණි. එහෙත් ඒ අතරතුර කාලය තුළ රනිල් ප්‍රමුඛ පිරිස සිදු කරන්නට නියමිතව තිබූ
වැඩසටහන ක්‍රියාත්මක කිරීමට ඉඩදී බලාසිටීම අතිශය හානිදායකය. තමන් හට මහ ඡන්දයකින්
නැවත බලය ලබා ගැනීමට නොහැකි බව රනිල්ලා දැන සිටියේ ය. ඒ අනුව කෙතරම් මහජන විරෝධය
මතු වුණත් ඉදිරි මාස කීපයේදී නිසැක වශයෙන්ම ෆෙඩරල් ව්‍යවස්ථාව ගෙන ඒමටත්, එට්කා
අත්සන් කිරීමටත්, ජාතික සම්පත් විදේශයන්ට විකිණීම තව දුරටත් වේගවත් කිරීමටත් රනිල්ලා
සැළසුම් කොට තිබිණි.
පසුගිය කාලවකවානුවේදී මෛත්‍රී සහ ඒකාබද්ධ
විපක්ෂය අතර ඇති වූ සාකච්ඡා වල කොළ එළි දැල්වෙමින් තිබියදී මහින්ද විසින් අගමැති
තනතුර භාරගත යුතු බවට ජාතික කඳවුරේ ජ්‍යෙෂ්ට නායකයන් දිගින් දිගටම ප්‍රකාශ කළේය. රනිල්
අගමැති තනතුරෙන් පහ නොකොට ඒ ක්‍රියාත්මක වෙමින් පැවති (තවමත් ක්‍රියාත්මක වෙමින්
පවතින) දේශද්‍රෝහී වැඩපිළිවෙල කිසිලෙසකින් ආපසු හැරවිය නොහැක. ඒ අනුව මහින්ද
අගමැති තනතුර භාර ගැනීම පවතින තත්වය අනුව කේන්ද්‍රීය අවශ්‍යතාවයක් විය. දැන් එම
පියවර සාර්ථකය.
එහෙත් ඉන් පසු,
ජනපති මෛත්‍රී යනු කිසිලෙසකින් වත් විශ්වාස
කළ නොහැකි දෙබඩි දේශපාලන ජීවියෙකි. ඔහු ඒ බව තවදුරටත් සනාථ කර තිබේ. එසේම ඔහුගේ
නායකත්වය යටතේ සිටින ශ්‍රී.ල.නි.ප යේ මන්ත්‍රීවරුන්ද පසුගිය කාලය පුරාවටම ආණ්ඩුවේ
සියලු දේශද්‍රෝහී අනපනත් වෙනුවෙන් පාර්ලිමේන්තුවේදී නිර්ලජ්ජිතව සිය ඡන්දය
පාවිච්චි කළ අයයි. ඒ බවද අපට අමතක නැත. දැන් මහින්ද විසින් පාර්ලිමේන්තුවේ බහුතරය
පෙන්වන්නේ නම් ඒ සඳහා ඔහුට තවත් එ.ජා.ප යේ කිහිප දෙනෙකු කුළියට ගැනීමට සිදු වනු
ඇත. ඔවුන්ද අවස්ථාවාදී ද්‍රෝහීන් බව අප විසින් පසක් කළ යුතුය.
එසේ නම් සිදු කළ යුත්තේ හැකි පළමු
අවස්ථාවේදීම මහ මැතිවරණයක් ලබා ගැනීමයි. පාර්ලිමේන්තුව ජනතා අධිකරණය ඉදිරියට
පැමිණවිය යුතුය.
රිෂාඩ් බදුර්දීන්, රවුෆ් හකීම් දැනටමත්
රනිල්ගේ බලය රැක ගැනීම වෙනුවෙන් පෙළ ගැසී ඇත. සම්බන්ධන්ලාගේ දෙමළ සන්ධානය ද
ඩයස්පෝරාවේ උපදෙස් පරිදි අනිවාර්යෙන්ම රනිල් රැක ගැනීමට කටයුතු කරනු ඇත. ජනතා
විමුක්ති පෙරමුණ අඩුම තරමේ මැතිවරණයක් වත් ඉල්ලා සිටීවි දැයි සැකසහිතය. එසේ නම්
මහින්ද මේ තෝරාගෙන ඇත්තේ අසීරුම හුදෙකලා මාවතයි.
කතන්දර ගෙතීමට සහ සිනහ වීමට බොහෝ දෙනා බලා සිටී.
පරාජයෙන් පසු ජාතිකවාදීගේ කර මතින් නැවත නැගී සිටි මහින්ද නැවතත් එහි විශාල
වගකීමක් කරට ගෙන ඇත. අතීතයේදී සිදු වූ වැරදි නැවත සිදු වනු දැකීමට අවශ්‍ය නැතිනම්
අවසාන මොහොත දක්වාම සටන් බිම අතහැර නොයාමට ජාතිකවාදීන් වගබලා ගත යුතුය. මක්නිසාද
අප තවමත් කිසිඳු පෙරමුණකින් ජයග්‍රහණයක් අත්කරගෙන නැති හෙයිනි. සිදු වී ඇත්තේ
සටනක් සඳහා නිශ්චිත භූමියක කඳවුරු බැඳ ගැනීම පමණි.
දේශපාලනඥයන්ද තවත් සමාජ ජීවින් කොටසක් බවත්
ඔවුන් ඔවුන්ගේ ස්වාර්ථය සඳහා තාර්කිකව කටයුතු කරන බවත් තහවුරු කරගැනීමට අපට දැන්
අමුතුවෙන් උදාහරණ ගෙන හැර දැක්විය යුතු නොවේ. දීර්ඝ අත්දැකීම් තුළින් අපි එය
දනිමු. එසේනම් පොදු ජනයා ලෙස අපගේ අවශ්‍යතාවයන් වෙනුවෙන් දේශපාලනඥයා මෙහෙයවීමේ
වගකීම අප විසින් භාර ගත යුතුය. ඒ සඳහා සුදුසුම සමාජ වටපිටාව දැන් නිර්මාණය වී
ඇතැයි මම විශ්වාස කරමි.
ඉදිරිය තවම අපැහැදිලි අතර හෙට අවින්ශ්චිතය.
ඒ අවිනිශ්චිත හෙට දින තුළ අප ගන්නා තීරණය අපගේ රට සහ එහි ජනතාවගේ ඉරණම තීන්දු කරනු
ඇත. එහෙයින් නොනිදා අවදියෙන් සිටිමු.
- පැතුම් රණසිංහ -

Comments
Post a Comment