නීතිය නැවූ ජාතික ආණ්ඩුව
ජාතික
ආණ්ඩුවක් නම් එයින් මුළු ජාතියම නියෝජනය විය යුතුය. ලෝකයේ විවිධ ජාතීන් විවිධ
කාලවකවානු තුළදී සිය ජාතිය අභිමුව පැන නැගුණු අභියෝගයන්ට මුහුණ දීමට එවන් ජාතික
ආණ්ඩු ගොඩනගාගෙන ඇත. දෙවන ලෝක යුධ සමයේ මිත්‍ර පාර්ශවික රටවල් බොහොමයක එවන් ජාතික
ආණ්ඩු පිහිටවූ අතර ජර්මනිය ඇතුළු අක්ෂ බලවතුන් පරාජය කිරීම සඳහා එම ජාතික ආණ්ඩු
මහඟු පිටිවහලක් විය.
ශ්‍රී
ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 46 වන වගන්තියෙන් ජාතික ආණ්ඩුවක් යන්න නිර්වචනය කොට
ඇත. ඒ අනුව ජාතික ආණ්ඩුවක් යනු පාර්ලිමේන්තුවේ වැඩිම ආසන ගණනක් හිමි පක්ෂය අනෙකුත්
පාර්ලිමේන්තුවේ ආසන හිමි පක්ෂ සමඟ ගිවිසුම් මගින් සන්ධානගත වීමෙන් පිහිටුවන
ආණ්ඩුවක් ජාතික ආණ්ඩුවක් ලෙස හැඳින්විය හැකිය.
2015
අගෝස්තු මහ මැතිවරණය අනුව එක්සත් ජාතික පක්ෂයට ආසන 106 ක් ද, එක්සත් ජනතා නිදහස්
සන්ධානයට ආසන 95 ක් ද, ඉලංගෛ තමිල් අරසු කච්චියට ආසන 16 ක් ද, ජනතා විමුක්ති
පෙරමුණට ආසන 06 ක් ද, ඊ.පී.ඩි.පී සංවිධානයට ආසන 01 ක් ද මුස්ලිම් කොන්ග්‍රසයට ආසන
01 ක් ද (මුස්ලිම් කොන්ග්‍රසය නමින් මැතිවරණයට ඉදිරිපත් වී පාර්ලිමේන්තුවට තේරී පත්
වූයේ එක් මන්ත්‍රීවරයෙකු පමණි. අනෙකුත් මුස්ලිම් කොන්ග්‍රස් මන්ත්‍රීවරුන් ඡන්දය
සඳහා ඉදිරිපත් වූයේ එක්සත් ජාතික පක්ෂයෙනි) වශයෙනි පාර්ලමේන්තුවේ ආසන සංයුතිය සකස්
වී තිබෙන්නේ. ඡන්ද ප්‍රතිපල නිකුත් වී දින කිහිපයකින් ඉක්බිති විශාල මාධ්‍ය
සංදර්ශනයක් පවත්වමින් එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජාතික
ආණ්ඩුවකට පිවිසුණු බව අරලියගහ මන්දිරයේදී ගිවිසුමක් අත්සන් කරමින් ප්‍රකාශයට පත්
කෙරිණි. නමුත් ගැටලුව වන්නේ එක්සත් ජාතික පක්ෂය සමඟ ජාතික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා
ජනතාව විසින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නමැති පක්ෂයකට ඡන්දය දී නොතිබීමයි. කොටින්ම
කිවහොත් ජාතික ආණ්ඩුවක් පිහිටුවා එහි ඇමතිකම් දැරීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ
“අත” ලකුණට ඡන්දය දුන් කිසිවෙක් නැත. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ
අටවැනි පාර්ලිමේන්තුව නියෝජනය කරන්නේ දේශපාලන පක්ෂ 06 ක් පමණක් බවත් ඒවා නම්
එක්සත් ජාතික පක්ෂය, එක්සත් ජනතා නිදහස් සන්ධානය, දෙමළ ජාතික සන්ධානය, ජනතා
විමුක්ති පෙරමුණ, ඊලාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය සහ මුස්ලිම් කොන්ග්‍රසය යන
පක්ෂ බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නමින් පක්ෂයක් මෙම පාර්ලිමේන්තුව නියෝජනය නොකරන
බවත් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ නිල වෙබ් අඩවියට පිවිසීමෙන් ඔබට තහවුරු කොටගත හැක.
එසේ නම් මේ ජාතික ආණ්ඩුවේ සදාචාරාත්මක නිරවද්‍යතාව පිළිබඳව මෙන්ම නෛතික සහ ව්‍යවස්ථානුකූල
සුජාතභාවය පිළිබඳව ද ඉතිරිවන්නේ ප්‍රශ්නාර්ථයකි.
ශ්‍රී
ලංකා නිදහස් පක්ෂය නමැති ක්‍රියාකාරී සහ ඓතිහාසික දේශපාලන සංවිධානය කිසි දිනෙක ශ්‍රී
ලංකා නිදහස් පක්ෂය යන නමින් මහ මැතිවරණයකට ඉදිරිපත් වී නැත. එම පක්ෂයේ නිර්මාතෘ
බණ්ඩාරනායක මහතාගේ පටන්ම එම පක්ෂය වාම නැඹුරුවක් සහිත දේශපාලන පක්ෂ කිහිපයක් සමඟ
කණ්ඩායම් ගත වී මැතිවරණවලට මුහුණ දුණි. 2004 වර්ෂයේ පටන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්සත්
ජනතා නිදහස් සන්ධානය යන නමින් පුළුල් පෙරමුණක සිට මැතිවරණවලට ඉදිරිපත් විය. 2015
මහ මැතිවරණයේදී එම සන්ධානය තුළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ සමසමාජ පක්ෂය, කොමියුනිස්ට්
පක්ෂය,
මහජන එක්සත් පෙරමුණ, මහජන පක්ෂය හා ජාතික නිදහස් පෙරමුණ වැනි දේශපාලන කණ්ඩායම්
ගණනාවක් ගොනු වී සිටියේය. එජාප ය සමඟ එක් වී ජාතික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා එක්සත්
ජනතා නිදහස් සන්ධානයේ විධායක මණ්ඩලයෙන් අනුමැතිය ලබා ගැනීමට ශ්‍රීලංනිප යේ සභාපති
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට අමතක වී ගිය සෙයකි. ඔහුව ජනාධිපති ධූරය කරා
ඔසවා තැබූ මිතුරන්ට තිබූ තදියම මත වත්මන් ජනාධිපතිවරයා කලක් තමාට සෙවණ දුන් පක්ෂයේ
ප්‍රජාතන්ත්‍රවාදී අභිලාෂයන් නොසළකා හැරියේ ඒ අයුරිනි. එක අතකින් 2015 ජනවාරි 08
බලයට පත් වූ වහාම රටේ ව්‍යවස්ථාව පසෙක තබා ඡන්ද ගිවිසුම් මත ආසන 42 ක් පමණක් හිමිව
තිබූ එජාප නායකයා රටේ අගමැති කළ අයුරු ගැන සිතූ විට එහි ඒ හැටි පුදුමයක් ද නැත.
ශ්‍රී
ලංකාවට බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් විසින් හඳුන්වාදුන් අදද අපේ ක්‍රමය තුළ මහත්
හරසරින් අනුගමනය කරන වෙස්මිනිස්ටර් පාර්ලිමේන්තු සම්ප්‍රදාය අනුව පාර්ලිමේන්තුවේ
විපක්ෂය යනු මීළඟට ආණ්ඩුවක් පිහිටුවීම සඳහා සූදානමින් සිටින ඒ සඳහා අවැසි ජන බලයක්
සහිත පක්ෂයයි. විපක්ෂ නායක යනු එකී ජනබලය සහිත මීළඟට අගමැති වීම සඳහා ඡායා
කැබිනෙට්ටුවක් සහිතව සාධනීය ලෙස ආණ්ඩුව විවේචනය කරන විපක්ෂයේ නායකයාය. වර්තමාන ශ්‍රී
ලංකාවේ විපක්ෂ නායක වරයා ආර් සම්බන්ධන් මහතාය. ඔහු නායකත්වය දරණ දේශපාලන කණ්ඩායම
වන ඉලංගෛ තමිල් අරසු කච්චි හෙවත් ලංකා දෙමළ රාජ්‍ය පක්ෂයට හිමි වී තිබෙන්නේ සමස්ත
පාර්ලිමේන්තු ආසන සංඛ්‍යාව වන ආසන 225 න් ආසන 16 කි. එය ප්‍රතිශතයක් ලෙස ගතහොත්
පාර්ලිමේන්තුවෙන් 7% කි. එසේම දෙමළ රාජ්‍ය පක්ෂයේ නායක ආර් සම්බන්ධන් මහතා විපක්ෂ
නායක වරයාව සිටින්නේ, එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරඟ කොට ශ්‍රීලංනිප සභාපති මෛත්‍රීපාල
සිරිසේන මහතාගේ අත්තනෝමතික පෙළඹවීම මත ව්‍යාජ ජාතික ආණ්ඩුවට සමබන්ධ නොවූ මන්ත්‍රීවරුන්
50 කට අධික ප්‍රමාණයක් ඒකාබද්ධ විපක්ෂය ලෙස දිනේෂ් ගුණවර්ධන මහතාගේ නායකත්වයෙන්
විපක්ෂයේ අසුන්ගෙන සිටියදීම බවත් අමතක නොකළ යුතුය. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ
මන්ත්‍රීවරු සුළුතරයක් එක්සත් ජාතික පක්ෂය සමඟ එක් වීමෙන් පිහිටුවාගත් ආණ්ඩුව
ජාතික ආණ්ඩුවක් යන ගෞරවාර්ථයෙන් බෞතීස්ම කළ කතානායක කරූ ජයසූරිය මහතා එක්සත් ජනතා
නිදහස් සන්ධානයේ බහුතරය විපක්ෂයේ අසුන් ගෙන තමන් විපක්ෂය ලෙස පිළිගන්නා මෙන්
දිගින් දිගටම ඉල්ලා සිටිද්දීත් එම ප්‍රජාතාන්ත්‍රික පිළිගැනීම ඔවුන්ට ලබා නොදීම
තුළින් පිළිබිඹු වන්නේ කතානායක වරයාගේ පුදුම දනවන සුළු අපක්ෂපාතී බව නොවේ ද ? එක්සත්
ජනතා නිදහස් සන්ධානයේ පාර්ශවකරුවෙකු වන ශ්‍රීලංනිපය එජාපය සමඟ එක් වී පිහිට වූ
ආණ්ඩුව, ආණ්ඩුවක් ලෙස පිළිගන්නා කතානායක වරයා ජාතික නිදහස් පෙරමුණ තමන් හට
ස්වාධීනව පෙනී සිටීමට ඉඩ දෙන ලෙස කළ ඉල්ලීම ද ඉවත දැමුවේය. ඉන් නොනැවතී ඊට එරෙහි වූ
දිනේෂ් ගුණවර්ධන මහතාට පාර්ලිමේන්තුව සතියක් තහනම් කළේද මේ කතානායක වරයාය.
මෙයාකාරයෙන්
සමස්ත ජන මතය විකෘති කොට ව්‍යාජ සහ නිත්‍යානුකූල නොවන ජාතික ආණ්ඩුවක් පිහිටුවා
ගැනීමෙන් ජනවාරි 08 විප්ලවකරුවන් අපේක්ෂා කළ පරමාර්ථයන් කවරේද යන කේන්ද්‍රීය ප්‍රශ්නයට
පිළිතුරු සපයා ගත යුතුව ඇත.
ශ්‍රී
ලංකාවේ විපක්ෂ නායක ධූරය නිකම්ම නිකන් තනතුරක් නොවේ. ඒ හා සබැඳි බලතල රාශියක්ද ඇත.
2015 දී ගෙන ආ 19 වන ව්‍යවස්ථා සංශෝධනය අනුව බිහි කෙරුණු ව්‍යවස්ථාදායක සභාවේ
සාමාජිකයන් සංඛ්‍යාව 10 කි. කතානායක වරයා එහි අනිවාර්ය සාමාජිකයෙකු වන අතර මුලසුන
හොබවනු ලබන්නේද ඔහු විසිනි. අනෙක් සාමාජිකයන් 09 දෙනාගෙන් දෙදෙනෙකු ලෙස අගමැතිවරයා
සහ විපක්ෂ නායකවරයා නිල බලයෙන් පත්වන අතර ඔවුන්
දෙදෙනාගේ අභිමතය පරිදි තවත් සාමාජිකයන් 05 දෙනෙකු පත් කරනු ලබයි. අගවිනිසුරු,
සියළුම ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරු සහ අභියාචනාධිකරණ විනිසුරුවරුන් පත් කිරීමත් මැතිවරණ
කොමිසම, රාජ්‍ය සේවා කොමිසම, ජාතික පොලිස් කොමිසම, මානව හිමිකම් කොමිසම, අල්ලස් කොමිසම,
මුදල් කොමිසම, සීමා නීර්ණය කිරිමේ කොමිසම, විගණන සේවා කොමිසම, ජාතික ප්‍රසම්පාදන කොමිසම, විශ්වවිද්‍යාල
ප්‍රතිපාදන කොමිසම සහ රාජ්‍ය භාෂා කොමිසම යන කොමිෂන් සභාවල සාමාජිකයන් පත් කිරීමත්
නීතිපති, විගණකාධිපති, පාර්ලිමේන්තුවේ
ඔම්බුඩ්ස්මන්වරයා, පාර්ලිමෙන්තුවේ මහ ලේකම්, පොලිස්පති යන තනතුරු සඳහා පුද්ගයන්
පත් කිරීමත් මෙම ව්‍යවස්ථාදායක සභාව තුළින් සිදු වේ. ඒ අනුව ඉහත සඳහන් කළ සියළු
පත් කිරීම් වර්තමානයේදී සිදු කරන්නේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාත්,
විපක්ෂ නායක ආර් සම්බන්ධන් මහතාත්, ඔවුන් දෙදෙනාගේම අභිමතය පරිදි නම් කළ තවත්
ඔවුන්ගේ හිතවතුන් 05 දෙනෙකුත් විසිනි. රටේ විධායක ජනාධිපතිවරයා තමන් සියළු දේ දැන
ගන්නේ පුවත්පත්වලින් බව කියන විහිළුසහගත කතාව මුසාවාදයක් නොවන බව හැඟී යන්නේ ඉහත
සියළු පදාසයන් පාලනය වන්නේ එක්සත් ජාතික පක්ෂයේ සහ දෙමළ රාජ්‍ය පක්ෂයේ හිතවතුන්
අතින් බව පැහැදිලි කරගත් පසුවය.
එපමණකින්
නොනැවතී සිය පටු බෙදුම්වාදී අරමුණු සඳහා අවශ්‍ය කරන නීති රීති අණපනත් සම්මත කරවා
ගැනීමේ මෙවලමක් ලෙසද මෙම ව්‍යවස්ථාදායක සභාවේ සංයුතිය භාවිතා කොට ඇත. බෙදුම්වාදී
ත්‍රස්තවාදය යටපත් කළ ශ්‍රී ලංකා රජයේ යුධ යාන්ත්‍රණය සහ එහි සොල්දාදුවන් අවධානමට
ලක් කරන අතුරුදහන් වීමේ කාර්යාල පනත ගෙන ඒමට ක්‍රියා කළේ මෙම පිරිසයි. එසේම එය
සම්මත කරවා ගැනීමට උර දුන්නේ ජන මතය විකෘති කොට පෙන්වන ව්‍යාජ ජාතික ආණ්ඩුවයි.
අතුරුදහන්
වීමේ කාර්යාලය බොරු සාක්ෂි ෆැක්ටරියකි. එම පනතට අනුව ඕනෑම පුද්ගලයෙකුගෙන් සාක්ෂි
සටහන් කර ගැනීමේදී සාක්ෂි ආඥා පනත බලනොපායි. සාක්ෂි ආඥා පනතේ විධිවිධාන අනුව
බලහත්කාරකමින් හෝ, අල්ලස්
දීමෙන් හෝ, බොරු
පොරොන්දු ලබා දීමෙන් යමෙකුගෙන් සාක්ෂි ලබාගතහොත් ඒවා අධිකරණය විසින් භාර නොගන්නා
බව සඳහන් වේ. සාක්ෂි ආඥා පනත නොසළකා සටහන් කරගන්නා බොරු සාක්ෂිවලට නෛතික
මුහුණුවරක් ලබා දීම ඒ අනුව මෙම පනත හරහා සිදු වේ. එම පනත සම්මත කරගැනීමේදී එකඳු
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට හෝ මෙහි හොඳ නරක විශ්ලේෂණය කරමින් කතාවක් සිදු
කිරීමට අවස්ථාව හිමි නොවීය. අතුරුදහන්වීමේ ප්‍රඥප්තිය නීතිගත කිරීමේ පනත ඉන්පසු
ගෙන ආවේය. තෙල්දෙණිය කලබල අස්සේ මුළු රටම ඒ දෙස අවධානයෙන් සිටියදී කිසිඳු සංවාදයකට
ඉඩ නොදීම එයද සම්මත කරගන්නා ලදි. ඒ අවස්ථාවේදී බොහෝ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේ
නොසිටියේය. මියගිය ත්‍රස්තවාදීන් වෙනුවෙන් වන්දි ගෙවීම සඳහා පනතක් ඉදිරියේදී ගෙන
ඒමට නියමිතය. 2015 සැප්තැම්බර් මාසයේ දී එක්සත් ජනපදය සහ එක්සත් රාජධානිය සමඟ එක්ව
අපේ ආණ්ඩුව විසින් අපේම ආණ්ඩුවට එරෙහිව ගෙන ආ ජිනීවා යෝජනාවේ පටන් මෙම පාවා දීමේ
ක්‍රියාවලිය අඛණ්ඩව ක්‍රියාත්මකය. ඒ යෝජනාව අනුව ඉන්දියාව විසින් බලහත්කාරයෙන් අප
මත පැටවූ 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අඩු නැතිව ක්‍රියාවට නැංවීමට අප රටක්
වශයෙන් ජාත්‍යන්තරයට දීන ලෙස පොරොන්දු වී
ඇත.
මෙවැනි ක්‍රියා
ඉතාම නරක පුර්වාදර්ශයන් ය. “ශ්‍රී ලංකාවේ පරමාධිපත්‍ය ජනතාව සතුය. එය අන්සතු කළ
නොහැක්කේය”. එම වැකිය ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සටහන්ව තිබෙන ඉතාමත්
ගෞරවාන්විත සහ අභිමානවත් වැකියකි. නමුත් ශ්‍රී ලංකාවේ ජනතාවගේ පරමාධිපත්‍ය ඉතාමත්
නින්දිත ලෙස පැහැරගෙන හමාරය. ප්‍රජාතන්ත්‍රවාදී රටක මුදුන් මුල වන ව්‍යවස්ථාව
උල්ලංඝනය කරමින් පිහිටවූ නිත්‍යානුකූල නොවන ව්‍යාජ ජාතික ආණ්ඩුවකින් අපි පුරා වසර
03 කටත් වැඩි කාලයක් පාලනය වෙමින් සිටින්නෙමු. ඒ මදිවාට ඒ ව්‍යාජ ආණ්ඩුව බිහි කොට
වර්තමානයේ එහි නිලතල දරණ පාලකයින් විසින් මහජනතාව වන අප හට උදේ සවස දේශනා කරන්නේ ද
ප්‍රජාතන්ත්‍රවාදය සහ යහපාලනය පිළිබඳව ය.
මෙම නිත්‍යානුකූල
නොවන ව්‍යාජ ජාතික ආණ්ඩුව නිත්‍යානුකූල ලෙස ඉවත් කර ජනතා අභිලාෂයන් ඉටු කරන
සදාචාරවත් ආණ්ඩුවක් බිහි කරවා ගැනීමේ පරම වගකීම ශිෂ්ට සම්පන්න පුරවැසියන්
සියලුදෙනා සතු වේ.
-
පැතුම් රණසිංහ -

Comments
Post a Comment