ආර්ථික නිදහස පාවා දෙන පෙරහැරේ කසකරුවා



ආණ්ඩුව විසින් දැන් ක්‍රියාත්මක කිරීමට සූදානම් වන සිංගප්පූරු නිදහස් වෙළඳ ගිවිසුම සඳහා මූලික අවබෝධතා ගිවිසුම අත්සන් කෙරුණේ 2016 වසරේ ජූලි 18 දිනය. ඒ සඳහා ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයාද, සිංගප්පූරු අග්‍රාමාත්‍ය ලී ෂියන් ලුන් මහතා ද අත්සන් තබනු ලැබීය. කලාපීය ගිවිසුම් මගින් ලබන වසර වන විට දකුණු ආසියාවේ දක්ෂිණ උප කලාපයට සහ සිංගප්පූරුවට ත්‍රෛපාර්ශවික සැළසුමකට එක් වීමට හැකි වනු ඇති බව එහිදී ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කොට තිබුණි. සිංගප්පූරුව සහ ඉන්දියාව අතර ඇති සීපා ගිවිසුම, ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර එට්කා ගිවිසුම, ශ්‍රී ලංකාව සිංගප්පූරුව අතර නිදහස් වෙළඳ ගිවිසුම එම ගිවිසුම්වලට අයත් බවයි එහිදී ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නේ. පසු ගිය කාලය මුළුල්ලේම ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර අත්සන් කිරීමට අර අදින එට්කා ගිවිසුම සඳහා රටේ විවිධ පාර්ශවයන්ගෙන් බලවත් විරෝධයක් එල්ල විය. එහි ප්‍රතිපලය වූයේ එට්කා ට කලින් කරළියේ නොතිබූ, සංවාදයට බඳුන් නොවූ මාතෘකාවක් වූ සිංගප්පූරු නිදහස් වෙළඳ ගිවිසුම පෙරට ගෙන ඒමයි. ඒ අනුව සිංගප්පූරු නිදහස් වෙළඳ ගිවිසුම එට්කා සඳහා පෙර ගමන් යාමක් බව සක්සුදක් සේ පැහැදිලි වේ.

එසේම එහි ප්‍රතිපලය වශයෙන් සිංගප්පූරු නිදහස් වෙළඳ ගිවිසුම ක්‍රියාත්මක කිරීමේදී සිදු වූ ගිවිසුම සඳහා පාර්ලිමේන්තු අනුමැතිය ලබා නොගැනීම, අවසාන මොහොත දක්වා ගිවිසුමේ අඩංගු කරුණු හෙළිදරව් නොකර රහසිගතව තබා ගැනීම, අදාළ පාර්ශවයන්ගේ ඉල්ලීම්වලට සහ යෝජනාවලට කන් නොදීම, සාකච්ඡා කණ්ඩායමේ සාමාජිකයන් ලෙස වෙනත් රටවලට සහ බහුජාතික සමාගම්වලට මුදලට සේවය කරන පුද්ගලයන් යොදා ගැනීම වැනි අක්‍රමිකතා එට්කා ක්‍රියාවලිය තුළදී ද සිදුවනු ඇත. එය බරපතල හිතා මතා ඇතිකරන ලද අවධානම්කාරී තත්වයකි. සිංගප්පූරු නිදහස් වෙළඳ ගිවිසුම අත්සන් කිරීමේදී සිදු වූ ඉහත සඳහන් අක්‍රමිකතාවලට සම්බන්ධ වූ වගකිවයුතු පාර්ශවයන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීම අත්‍යවශ්‍ය කාරණයක් වන්නේ ඒ අනුවය.

ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු වන එජාපයේ හිටපු සභාපති සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා මෙකී අක්‍රමිකතා සඳහා සෘජුව වගකිව යුතුය. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ රාජකීය විද්‍යාලයේ පංති මිතුරෙකු වීම හැර ඔහුට ජාත්‍යන්තර වෙළඳ ගිවිසුම් සම්බන්ධයෙන් ඇති දැනුවත් භාවය සැක සහිතය. එසේම එම අමාත්‍යංශයේ ලේකම් වන චාන්දනී විජේවර්ධන මහත්මිය ද, සිංගප්පූරු වෙළඳ ගිවිසුම වෙනුවෙන් සාකච්ඡා පැවැත් වූ කණ්ඩායමේ ප්‍රධානී කේ.ජේ වීරසිංහ ද මෙහි සෘජු වගඋත්තර කරුවන්ය. ඉතාම හාස්‍ය දනවන කරුණක් වන්නේ ඉහත නම් සඳහන් කරන ලද සාකච්ඡා කණ්ඩායමේ ප්‍රධානියා ඇතුළු පිරිස මෙම සාකච්ඡා සඳහා සහභාගී වීමට ප්‍රථම ඊට අවශ්‍ය පුහුණුව ලබාගෙන ඇත්තේ සිංගප්පූරුවෙන් ම වීමයි.

සංවර්ධන උපායමාර්ග සහ ජාත්‍යන්තර වෙළඳ කටයුතු අමාත්‍යංශයේ කටයුතු හැසිරවීම පිලිබඳ වගකීම දරන්නේ ඇමරිකානු ජාතිකයන් තිදෙනෙකි. ඉන්දියාවෙන් සහ චීනයෙන් මහා පරිමාණයෙන් භාණ්ඩ ආනයනය කරන බහු ජාතික සමාගමක් වන සිංගර් සමාගමේ සභාපතිවරයෙකු වූ සමන් කැලේගම මහතා මෙම ආණ්ඩුව පත් වූ දා පටන් සංවර්ධන උපායමාර්ග සහ ජාත්‍යන්තර වෙළඳ කටයුතු අමාත්‍යංශයේ බලගතු චරිතයක් වශයෙන් කටයුතු කළේය. ඉන්දියාව සමඟ අත්සන් කිරීමට සූදානම් වන එට්කා ගිවිසුම සමබන්ධ සාකච්ඡා ක්‍රියාවලියේදී ද එම සාකච්ඡා කණ්ඩායමේ ප්‍රධානියා වශයෙන් කටයුතු කළේ ඉන්දියාවෙන් භාණ්ඩ ආනයනය කරන බහු ජාතික සමාගමක සභාපතිවරයෙකු වන සමන් කැලේගම මහතාය. පසුගිය වර්ෂයේ ජුනි මාසයේදී සමන් කැලේගම මහතා තායිලන්තයේ බැංකොක් නුවර හෝටලයක් තුළදී හදිසියේම අභාවප්‍රාප්ත විය. ඉන්පසුව එම සාකච්ඡා කණ්ඩායමේ අනුප්‍රාප්තිකයා වශයෙන් පත් වූයේ කේ.ජේ වීරසිංහ මහතා ය. ඔහු ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය (Joint Apparel Association Forum ) වෙත ජාත්‍යන්තර වෙළඳ ගිවිසුම් මඟින් වාසි ලබා ගන්නා ආකාරය පිළිබඳව උපදේශකයෙකු ලෙස සේවය සපයා මුදල් ලබා ගන්නා පුද්ගලයෙකි. මෙයාකාරයෙන් වෙනත් පාර්ශවයන්ට මුදලට සේවය කරන පුද්ගලයින් රට වෙනුවෙන් පෙනී සිටීම සඳහා රජය විසින් අනියුක්ත කිරීම බැඳියාවන් පිළිබඳව බරපතල ගැටුම් ඇතිකරන තත්වයකි.

කරුණු කරණා මෙසේ සිදු වද්දී මෙම නිදහස් වෙළඳ ගිවිසුම් නිසා බලපෑමට ලක්වන පාර්ශවයන් වන වෘත්තිකයන්, ව්‍යාපාරිකයන් ඇතුළු පිරිස් දිගින් දිගටම ජාත්‍යන්තර වෙළඳාම පිලිබඳ ජාතික ප්‍රතිපත්තියක අවශ්‍යතාවය මතු කරන ලදි. මේ පිළිබඳව වෘත්තීය සංගම් 15 කින් සමන්විත වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ දිගින් දිගටම ජනාධිපතිවරයාට ලිපි යොමු කර ඇත. ඊට ප්‍රතිචාර වශයෙන් ජනාධිපතිවරයා එක් සාකච්ඡාවක් ලබාදීමට එකඟ වුවත් අනපේක්ෂිත ලෙස සාකච්ඡාව පැවැත්වීමට තිබූ දිනයේදී ජනාධිපතිවරයා විසින් එය අවලංගු කර ඇත. වෘත්තිකයන්ගේ සහ ව්‍යාපාරිකයන්ගේ ඉල්ලීමක් වූ ජාත්‍යන්තර වෙළඳාම සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්තියක අවශ්‍යතාවයට රජය විසින් ලබා දුන්නේ අතීසාරයට අමුඩය ගැසීම වැනි විසඳුමකි. රජය ජාත්‍යන්තර වෙළඳා ම පිලිබඳ ජාතික ප්‍රතිපත්තියක් සැකසීමේ වගකීම නවසීලන්ත පුරවැසියෙකු වන ආචාර්ය රවී රත්නායක මහතාට පවරන ලදි. ඔහු Bridging the Gap නමැති එන් ජී ඕ ආයතනයේ සාමාජිකයෙකි. එම ආයතනය හරහා මේ පුද්ගලයා ASEAN සංගමයේ සාමාජික රටවලට ශ්‍රී ලංකාවට භාණ්ඩ අපනයනය සඳහා පෞද්ගලික උපදේශකයෙකු ලෙසද කටයුතු කරයි. අවසානයේදී ආචාර්ය රවී රත්නායක මහතා විසින් පිටු කිහිපයකින් සමන්විත ජාතික ප්‍රතිපත්තියක් යැයි කියන ලියවිල්ලක් ඉතා කෙටි කාලයක් තුළ රජයට සකස් කර දී ඇත. දැන් රජය පවසන්නේ ජාත්‍යන්තර වෙළඳාම ගැන තමන්ට ජාතික ප්‍රතිපත්තියක් ඇති බවයි. එසේම ආචාර්ය රවී රත්නායක මහතාව එට්කා ඇතුලු ද්විපාර්ශවික ගිවිසුම්වල සාකච්ඡා සඳහා ශ්‍රී ලංකා නියෝජිතයෙකු ලෙස පත් කර ඇත. ඊට අමතරව ශ්‍රී ලංකාවට ආනයනය කරන භාණ්ඩවලින් බදු සහන ලබාදෙන භාණ්ඩ ලයිස්තුව සකස් කිරීමේ වගකීමද මොහුට පවරා ඇත.

අමත්‍යාංශය විසින් මේ ක්‍රියාවලිය පිළිබඳව නිකුත් කළ සෑම මාධ්‍ය නිවේදනයකම දැක්වෙන්නේ අදාළ සියළු පාර්ශවයන් සමඟ සාකච්ඡාවෙන් පසු මෙම ගිවිසුම් සම්බන්ධයෙන් තීරණ ගන්නා බවයි. එම සියළු පාර්ශවයන් සමඟ කරන සාකච්ඡා නිමා වී ඇත්තේ අපූරු ආකාරයකටය. එම සාකච්ඡාවලට සම්බන්ධ වූ පාර්ශවයන් අමාත්‍යංශයේ ලේකම්වරිය වන චාන්දනී විජේවර්ධන මහත්මිය ඇතුළු අනෙකුත් නිළධාරීන් ඉදිරිපත් කරන කරුණු වැරදි බව කොතෙක් පෙන්වා දුන්නත් අවසානයේදී ක්‍රියාත්මක වී ඇත්තේ ඉහත කී නිලධාරීන්ගේ අභිමතය පමණි. අවසානයේදී රැස්වීම් සඳහා සහභාගී වූ සියල්ලන්ම ඊට එකඟ වී යැයි අමාත්‍යංශය නිවේදනය කර තිබේ.

වත්මන් රජය බලයට පත් වීමට පෙර සිටම සෘජු විදේශ ආයෝජන ආකර්ෂණය කර ගැනීම සඳහා විවිධ දේ කළේය. මුලින්ම ඔවුන් කීවේ රෙජීම මාරුවක් ඔස්සේ ස්ථාපිත වන ප්‍රජාතන්ත්‍රවාදය නිසා ජාත්‍යන්තරය දිනා ගැනීම තුළින් ආයෝජකයින් ගෙන ආ හැකි බවයි. එහෙත් එදා පටන් අද දක්වා සිදු වී ඇත්තේ සීඝ්‍රයෙන් ආයෝජන අඩු වීමයි. එහි කූටප්‍රාප්තිය ලෙස පසුගිය දා ශ්‍රී ලංකාව ලෝකයේ ආයෝජනයට නුසුදුසුම රටක් ලෙස එක්තරා ජාත්‍යන්තර සඟරාවක් වාර්තා කොට තිබුණි. රජය දැන් කියන්නේ බලවත් රටවල් සමඟ කඩිනමින් නිදහස් වෙළඳ ගිවිසුම් අත්සන් කොට ආර්ථිකය ඔවුන්ට විවර කිරීමෙන් ආයෝජකයින් ආකර්ෂණය කර ගත හැකි බවයි.

අවි බලයෙන් රටවත් යටපත් කරන ගෝලීය ධනවාදයේ ප්‍රථම සහ දෙවන කාර්තු දැන් නිමා වී තිබේ. අධිරාජ්‍යවාදයේ නවමු මුහුණුවර මෘදු ආක්‍රමණයයි. වෙළඳ ගිවිසුම්, ප්‍රචාරණාත්මක සංස්කෘතික ප්‍රවාහයන්, මත්ද්‍රව්‍ය, රාජ්‍ය නොවන සංවිධාන බළල් අත් එම මෘදු ආක්‍රමණයේ මෙවලම් ය.

1815 උඩරට ගිවිසුම ද හොඳ රාජ්‍ය තාන්ත්‍රික ගිවිසුමක් යැයි කෙනෙකුට තර්ක කළ හැක. ආක්‍රමණියකයාට රට පාවා දීමෙන් අනතුරුව එම ආක්‍රමණිකයා රට පාලනය කළ යුතු ආකාරය ගැන යම් යම් වගන්ති එහි අඩංගු විය. රාජ්‍ය ආක්‍රමණය කොට අවසාන නම් තවත් ගිවිසුම් වලට එකඟ වීමට බ්‍රිතාන්‍යන්‍ ට අවශ්‍ය වීද ? පැහැදිලිවම නැත. එසේනම් උඩරට ගිවිසුම ? එය හුදෙක් රජු අතඩංගුවට පත් වීමත් සමඟ කන්දේ ඇති වූ උණුසුම සමනය කිරීමට දුන් තවත් ගුණ්ඩුවකි. සිය පාලනය ස්ථාවර වූ පසු ඉංග්‍රීසීන් අත උඩරට ගිවිසුම නිකම්ම නිකන් කඩදාසියක් පමණක් විය. ගිවිසුම ප්‍රෝඩාවක් බව පෙනී යන විට මහජනතාව උගුලට හසු වී හමාර වී තිබුණි. එම ප්‍රෝඩාවට එරෙහිව නැගී සිටීමේ ප්‍රතිපලය වූයේ ස්ථාවර වූ ඉංග්‍රීසි පාලන යාන්ත්‍රණය හමුවේ නිසැක මර්ධනයට ලක් වීමයි. ඒ මර්ධනය උඩරට ගිවිසුමට සිය අත්සන් තැබූ මොණරවිල කැප්පෙටිපොළලාට ද පොදු විය. අවියෙන් යටපත් කළ නොහැකි ජාතියක් කූට ගිවිසුමකින් යටපත් කළේ ඒ අයුරිනි. ඒ අපේ රටට ගිවිසුම් සම්බන්ධයෙන් ඉගැනීමට ඇති හොඳ ඓතිහාසික උදාහරණයකි.

කලාපීය ආර්ථික යුද්ධයේ ප්‍රතිපලයන් ලෙස අසල්වැසි බලවතුන් විසින් අපේ කර මත පැටවීමට සූදානම් වන ආර්ථික  ගිවිසුම් පෙළක් රට හමුවේ පෙළින් පෙළ පැමිණෙමින් තිබේ. ඉන්දීය ව්‍යාප්තවාදයේ නව්‍ය මුහුණුවර වන "එට්කා" පැමිණීමට පෙර ක්‍රියාත්මක කිරීමට සූදානම් වන සිංගප්පූරු නිදහස් වෙළඳ ගිවිසුම “මුට්ටිය දමා බැලීමක් ද ?”

ඔබ අප සියළු දෙනාම දන්නා පරිදි සිංගප්පූරුව යනු ඉතා කුඩා භූමි ප්‍රමාණයක් සහිත රටකි. ඔවුන් තමන්ගේ සමස්ත භූමියම නිදහස් වෙළඳපලක් ලෙස භාවිතා කරයි. මෙම ගිවිසුම යටතේ භාණ්ඩ සහ සේවා යන දෙකොටස සඳහාම නිදහස් වෙළඳාම විවෘත කොට තිබේ.  ඒ අනුව සිංගප්පූරුවෙන් ශ්‍රී ලංකාවට ආනයනය කරන භාණ්ඩවලින් 80% ක් සම්පූර්ණයෙන් ම ආනයන තීරු බදුවලින් නිදහස් කොට තිබේ (මේ අනුව තීරු බදු නිදහස් කළ යුතු භාණ්ඩ වර්ග මොනවාදැයි මේ වන විටත් තමන්ට දැනුම් දී ඇති බව රේගු නිලධාරීන්ගේ සංගමය පැවසීය). පුදුමයට කාරණය වන්නේ සිංගප්පූරුව විසින් මෙම ගිවිසුම යටතේ තීරු බදුවලින් නිදහස් කොට ඇතැයි පවසන භාණ්ඩ වලින් 99% ක්ම වෙනත් ඕනෑම රටක සිට වුවද සිංගප්පූරුවට ගෙන ඒමේදී දැනටමත් බදුවලින් නිදහස් භාණ්ඩ වීමයි.

මෙම ගිවිසුම මගින් තමන්ට වර්ෂයකට ඇ.ඩො මිලියන 10 ක බදු වියදමක් ඉතිරි වන බව සිංගප්පූරු වෙළඳ හා කර්මාන්ත අමාත්‍යාංශය විසින් නිකුත් කළ නිවේදනයක සඳහන් වී තිබේ. ලංකා ආණ්ඩුව සඟවාලනු ලැබුවත් ඒ අනුව ලංකාවට අහිමි වන තීරු බදු ආදායම ඇ.ඩො.මි 10 කට වඩා වැඩි බව සක්සුදක් සේ පැහැදිලිය. සිංගප්පූරුව ඒ ආකාරයෙන් තමාට ලැබෙන වාසිය තක්සේරු කොට තිබියදී ශ්‍රී ලංකාවේ වගකිවයුත්තන් තවමත් මෙතෙක් අත්සන් කොට ඇති කිසිඳු ගිවිසුමක ශක්‍යතා අධ්‍යනයක්වත් සිදු කොට නැත.

ශ්‍රී ලංකාවේ සේවා වෙළඳපල ප්‍රථම වරට විදේශීය ශ්‍රමිකයන් සඳහා විවෘත වන්නේ මේ සිංගප්පූරු ගිවිසුමේදී ය. සිංගප්පූරුව යනු ආර්ථිකය අතින් ලිබරල්කරණය වූ නමුත් ඉතාම දැඩි නීති රීති සහ වෙළඳ රෙගුලාසි පවත්වාගෙන යන රටකි. එහෙත් ශ්‍රී ලංකාවේ බොහෝ ක්ෂේත්‍ර අරභයා තවමත් ක්‍රියාත්මක වන්නේ යල් පැන ගිය නීති රීති සහ රේගුලසීන් ය.

වෙළඳාම සමඟ ලෝකය හා එක්වීම පිලිබඳ කිසිවෙකු විරුද්ධ නැත. එහෙත් ඒ එක්වීම සිදු විය යුත්තේ මෙරට වෙසෙන වැසියන්ට යහපතක් වන අයුරිනි. මෙරට දේශීය ආර්ථිකය ශක්තිමත් වන අයුරිනි. මේ තාක් ශ්‍රී ලංකාව අත්සන් තබා ඇති වෙළඳ ගිවිසුම් සම්බන්ධයෙන් පසු විපරමක් සිදු වී නැත. අවම වශයෙන් ඒ ගිවිසුම් මොනවාද යන්න පිළිබඳව වත් අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා හෝ ඔහුගේ අමාත්‍යංශයේ ලේකම් චාන්දනී විජේවර්ධන මහත්මිය දන්නවාදැයි සැක සහිතය. අත්සන් කරන්නන් වාලේ නිදහස් වෙළඳ ගිවිසුම් අත්සන් කිරීමෙන් රටට අත්වන යහපතක් නැත. ඉන්දීය වෙළඳ ගිවිසුම් හමුවේ උගුලට හසු වී වර්තමානය වන විට බරපතල ලෙස සිය රටේ ස්වෛරීයභාවය අහිමි කරගෙන සිටින නේපාලය මේ කරුණු අරභයා සපයාගත හැකි ආසන්න උදාහරණයකි.

සිංගප්පූරු වෙළඳ ගිවිසුම ගැන කටයුතු සිදු වූ ආකාරය ආරම්භයේ සිටම මහජනයා තුළ සැක සංකා මතු කොට තිබේ. ඉන් ඇතිවන අයහපත් තත්වය සම්බන්ධයෙන් නීතිඥ සංගමය, වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, ඉංජිනේරු සංගම්, රේගු නිලධාරී සංගම්, දේශීය ආදායම් බදු වෘත්තිකයන්ගේ සංගම්, ගුරු සංගම්, ආචාර්ය සංගම් දිගින් දිගටම ප්‍රශ්න මතුකරමින් සිටී. එහෙත් රජයේ පාර්ශවයෙන් පෙනෙන්නේ එම කරුණු පැහැදිලි කිරීමට හෝ චෝදනා වලට උත්තර දීමට හෝ වරදක් සිදු වී ඇත්නම් එය නිවැරදි කර ගැනීමට ඉස්පාසුවක් නොමැති සේයාවකි.

පැතුම් රණසිංහ -
 2018.06.08 සැබෑ

Comments

Popular posts from this blog

නවක වධයට තිත තබමු

ජවිපෙ - ගමනක අග

තුමිදු දොඩම්තැන්න බබෙක් ද ? නැත්නම් අපි බබ්බු ද ?