තුමිදු දොඩම්තැන්න බබෙක් ද ? නැත්නම් අපි බබ්බු ද ?



-පැතුම් රණසිංහ-

බුදුන්ගේ රස්තියාදුව, නිහොන් සැප ලැබේවා, තරුවන් සරණයි යන කලා නිර්මාණ බව කියන ඒවා පසුගියදා රජය විසින් වාරණය කරනු ලැබීය. ඊට විරෝධය පැමිණ උපුල් සන්නස්ගලගේ ප්‍රධානත්වයෙන් පැවති මාධ්‍ය සාකච්ඡාවට තුමිඳු දොඩන්තැන්න ද සහභාගී විය. එහිදී ඔහු දැක්වූ අදහස් සමාජ මාධ්‍ය ජාල ඔස්සේ විවේචනයට ලක් විය. එම විවේචන සාධාරණිකරණය කරමින් අද දින දොඩන්තැන්න විසින් පහත ලියවිල්ල සිය ෆේස්බුක් ගිණුමට එක්කර තිබුණි.

ඒ මෙසේය

ජාති ද්‍රෝහියෙකු, බුද්ධාගම විනාශ කරන නරැමයෙකු ලෙස මා අමතන මිතුරනි,
ඔබ මගේ රංගනය රස විදි නිසාත්, රංගන ශිල්පියෙකු ලෙස බෙහෙවින් ආදරය කල අතර ඔබට අනුව,ඔබ කැමති පරිදි , මම ජීවිතය ගත නොකළ නිසා දැන් ඔබ මට බැන වදී.
මට එය තේරුම් ගත හැක.

ආණ්ඩුව විසින් මේ කරමින් සිටින ''කලාව වාරණයට'' විරුද්ධ වීම වරදක් ලෙස ඔබ දකියි. මට එහි වරදක් නැත. මම දැන් ද එය කියමි. ඉදිරියේද ඒ වෙනුවෙන් පෙනී සිටිමි. මම පෙනී සිටියේ ඔබේ ගෞරවණිය අයිතිය වෙනුවෙනි.එලෙසම මට මේ වාරණය විහිළුවක් බව එතැනදි මම කී බව ඔබට මතක ඇත. මේ විහිළුව ඉතා භයානක එකකි. අපි ඒ දෙස හොදින් බලමු.

මාලකගේ ''නිහොන් සැප ලැබේවා'', ''තරැවන් සරනයි'' යන ගුවන් විදුලි නාට්‍ය වලට අනුග්‍රහය දක්වන්නේද මේ ආන්ඩු විසින්මයි. සායක්කාරගේ ''මම කෙලින් මිනිහෙක් '' සඳහා අවසරය දෙන්නේද මේ ආණ්ඩුවමයි .ඒ ආණ්ඩුව විසින්ම එය තහනම් කිරීම විහිළුවකි.එය ඔබට නොපෙනේද? ශ්‍රී ගේ පොත වාරනය කරන්නේද මේ ආන්ඩුවම විසිනි. දැන් මේ ආන්ඩුව එක අතකින් ,ඔවුන්ට අනුව ''බෞද්ධ ආගම් විරෝධී'' යැයි පවසන නිර්මාණ වලට අවසරය දෙමින් ,නැවත ඒවා තහනම් කරමින් ,ඔබේ අවධානය දිනාගන්නා බාල විහිළු සහගත උපක්‍රම කරමින් සිටියි. මට විහිළුවක් ලෙස පෙනෙන්නේ මෙයයි. සියලු ආණ්ඩු වල ස්භාවයද මෙයයි. ඔවුන්ට ඔබේ මගේ සිතුවිලි නිම් වළලු පුළුල් කරන ,අපේ සංස්කෘතික අවකාශය පුළුල් කරන කලාවකින් වැඩක් නැත. ඔවුන් ආගමේද ජාතියේද නාමයෙන් ඔබේ දෑස් වසන අතර,අප මේ සිටින නරාවලේම තබා ගන්නට උත්සහ කරයි.ඔවුන්ගේ අවශ්‍යතාවය ඉටු වන්නේ එවිටය. අපි තවදුරටත් ඔවුන්ගේ ලාබ උපක්‍රම වලට හසු විය යුතුද?

බුදුන් ගේ ''කාලාම සූත්‍රයේ'' දේශනා කල පරිදි ඕනෑම දෙයක් මතුපිටින් අල්ලා නොගෙන එහි අන්තර්ගතය විමසා බලන්න. ''බුදුන් ගේ රස්තියාදුව'' පොත ගැන මටද විවේචන ඇත. එහෙත් මම එම කෘතිය වාරණය කල යුතු යැයි නොකියමි. රට ,ජාතිය ආගම ගැන ඔය තරම්ම හැගීමක් ඔවුන්ට ඇත්නම් , වෛරය පලිගැනීම හා ඉන්දියානු හැබිචෝල් සංස්කෘතිය වපුරණ ඉන්දියානු මෙගා ටෙලිනාට්‍ය වාරණය කරන්නට මේ ආන්ඩු උනන්දු නොවන්නේ ඇයි ? ඒවා එසේම පවත්වා ගනිමින් ,අපේ රටේ සංස්කෘතික අවකාශය තුල ඔවුන් මේ කරන්න හදන්නේ කුමක්ද?ඔවුන් අපේ නිර්මාණකරුවන්ගේ පොතක්, වේදිකා නාට්‍යක් හා ගුවන්විදුලි නාට්‍යක් අල්ලාගෙන කරන්න හදන්නේ කුමක්ද?මේ එන්නේ ඔබ සිතන පරිදි අපේ රට ජාතිය ආගම බේරා ගන්නද? වඩා බලවත් ලෙස රසිකයාට බලපෑම් කල හැකි රුපවාහිනි මාධ්‍ය ,තම පටු අරමුණු වෙනුවෙන් එලෙස අවභාවිතා කරමින් මේ ඔවුන් කරමින් සිටින්නේ කුමක්ද? මිතුරනි ,ඔවුන් ආගමේත් ජාතියේත් නාමයෙන් අපව.අපේ සමාජ ජීවිතය තව තවත් ආගාධයකට තල්ලු කරමින් සිටියි.

මම මාධ්‍ය සාකච්ඡාවේදී කියූ දෙය හොදින් අහන්න. ''අපි බලන්නට ඕනෑ දෙයත්. එපා දෙයත්' පෙන්වා දෙන්නට ආන්ඩු අවශ්‍ය නැත. එය කරන්නට තරම් බුද්ධියක් පාඨක, රසික ඔබට ඇත. එය වාරණය කර ගැනීම හෝ නොගැනීම ඔබේ කාරණයකි . දියුණු රටවල ''කලාව'' වාරණය කරන්නේ නැත.ඒ වෙනුවට ඇත්තේ ''වර්ගීකරණයයි''.එවිට ඔබට රිසි පරිදි ඔබ කැමති දෙය තෝරාගත හැක .ආන්ඩු කලා වාරණය මැදිහත් වීම ඉතා භයානකය. එය කෙලවර වන්නේ සියළු දෙයම ඔවුන්ට ඕනෑ ලෙස කරන්නට අපට නියෝග කරමිනි. අවසානයේ ඔබ නැරඹිය යුත්තේ,කියවිය යුත්තේ ,රසවිඳිය යුත්තේ ආන්ඩුව කැමති දෙයපමණි.අප යා යුත්තේ එතනටද? . මම දැනුත් කියන්නේ රසිකයාගාරය බුද්ධිමත්. අපි අපේ අවකාශය තුළ තර්ක කරමු, වාද කරමු.ඒ රසිකයාට වාරණයේ අයිතියත්,නිදහසත් දෙන්න. මම පෙනී සිටියේ ඔබේ අයිතිය වෙනුවෙනි.

මැදිහත් වෙන්න ඕනෑම නං, බුද්ධාගම සම්බන්ධයෙන් මේ රටේ කොපමණ නම් ගැටළු තියෙනවද? නගරෙන් පිට විහාරස්ථාන වලට අවශ්‍ය යටිතල පහසුකම් වත් හරියට තියෙනවද? පුරාවිද්‍යා නටබුන් ආරක්ෂා වෙනවද? තව කොච්චරනං ගැටළු බුද්ධ ශාසන අමාත්‍යාංශයට තියෙනවද විසදන්න. ඒත් ඔවුන් කරමින් සිටින්නේ..ඔබව හැගීමෙන් අන්ධ කොට අවුස්සා ගත හැකි මෙවැනි දේය . එය මට පෙනෙන පරිදිනම් දරුණු ප්‍රතිපල ලැබෙන නරුම විහිළුවකි.

මම මෙයද කියමි. මට කිසිදු දේශපාලන පක්ෂයකට සම්බන්ධයක් නැත. සම්බන්ධයක් අවශ්‍ය ද නැත. මම කලාකරුවෙකු ලෙස පමණක් මගේ දේශපාලන ආස්ථානයක සිටිමි. මම නළුවෙකු ලෙස රුපණයේ ආශ්වාදය ලබමි. ඒ ආශ්වාදය ජීවිතාවබෝධයක් ලෙස තවත් තරුණ පිරිසක් හා බෙදා ගනිමි. මගේ දේශපාලනය එතැනින් ඔබ්බට අවශ්‍ය නැත.

මට කෙටි පනිවිඩ එවා තර්ජනය කළ මිතුරනි, ෆේස් බුක් එකේ බැන වැදුණු සොයුරනි, ඉන්බොක්ස් ඇවිත් මගේ අම්මා මතක් කොට කුනුහරැප කියූ බෞද්ධ සහෝදරයනි, බුද්ධාගම්කාරයන් ලෙස ඔබේ වෛරය ඇතිතරම් පිට කරන්න. එය දරා ගැනීමට ශක්තිය මට ලැබුනේ දහම් පාසැලෙනි. මට ජාති දෝහියෙකු ලෙස බැනවදින්න, සිංහල ජාතිය වනසන මගේ කනට ගසන බව කියා මැසේජ් එවන්න. ඒවා අසද්දීත් දකිද්දීත් ඔබ සැම මිතුරන් සේ දැකීමට ශක්තියක් මට ඇත. ඒ ශක්තිය මට ලැබුනේ පන්නිපිටියේ ධර්මපාල⁣⁣යෙනි. මා මෝඩයෙකු බව කියන්න. මැදපෙරදිග සිටින මිතුරන් වීඩියෝ මැසේජ් එවමින් පෙන්වන, ඒ රටවල සිටියානම් මට ගල්ගසා මරා දමන බවට තර්ජනය කරන්න.මා උගත්,මා විස්වාස කරන බෞද්ධ දර්ශනයේ නාමයෙන් මම ඉවසමි. ඒ ඉවසීම මට ලැබුනේ පෙර කළ පිරිවෙනක්ව තිබී පසුව විශ්වවිද්‍යාලයක් බවට පත් වූ විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයෙන් මා උගත් හෙයිනි. ඉතින් ඕනෑතරම් බනින්න. මට බනින මිතුරන් ඊට සති කිහිපයකට පෙර මා පසසා එවු සටහන් කියවා මම ඔවුන්ගේ ඇත්ත හැගීම තේරැම් ගනිමි. ඔබ සැමට ආදරයෙන් මේ සටහන නතර කරමි.

පෙරදා රාත්‍රියේ,කලනි මට සහොදරයා නාට්‍යයේ තිබූ වචන ටිකක් ඇගේ වචන වලින් කීවාය.
අපි මේ රට දාල යමු...යමු,
එකවරම නාට්‍ය මතක් වී අප දෙදෙනාම සිනාසුනෙමු. මම ඇයට සහෝදරයා නාට්‍යයේ වූ ප්‍රතිචාර දෙබස නොකියා සිටියත් එය මගේ මතකයෙහි දෝංකාර දෙන්නට විය.
"දැං මේ තියෙන්නෙ මගේ රට නෙමෙයි.
මේ ඔයා දකින්නෙ අපේ රටේ මිනිස්සුංගෙ ස්භාවය නෙමෙයි
දේශපාලන අඳුර.....

-තුමිඳු දොඩන්තැන්න-

එහෙත් දොඩන්තැන්නට අමතක වූ හෝ අමතක වූ කරුණු කිහිපයක් මතක් කර දීමට මා කැමැත්තෙමි.
තුමිදු දොඩම්තැන්න බබෙක් ද ? නැත්නම් අපි බබ්බු ද ?

අදරණිය තුමිදු දොඩම්තැන්න,

ප්‍රතිකාල් ආගමනයට සියවස් 5ක් පිරෙන තැන 2005 දී එම සාහසික ආක්‍රමණය උත්සවශ්‍රීයෙන් සමරන්නට සූදානම් වූ නූතන දොන් ජුවන් අගමැතිකම් කරන ආණ්ඩුවේ සංස්කෘතික හැදියාව ගැන අපට අමුතුවෙන් උගැන්විය යුතු නැත. එබැවින් මාලකලාට, සායක්කාරලාට, ශ්‍රී ලාට ඔවුන්ගේ ව්‍යාපෘති සඳහා ආණ්ඩුවේ අනුග්‍රහය ලැබීම අපට පුදුමයක් නොවේ. අප පුදුම විය යුත්තේ එය එසේ නොවන බව ඔබ කීවොතිනි. මක්නිසාද ආණ්ඩු කරණයේ යෙදෙන නූතන දොන් ජුවන්ලාගේ ද නිර්මාණ කරණයේ යෙදෙන බව කියන නූතන අරිට්ට කීවෙණ්ඩුලාගේ ද ක්‍රියාකාරීත්වය යනු දෙකක් නොව එකම ව්‍යාපෘතියක වෙනස් මුහුණුවරයන් දෙකක් වන බැවිනි.

එසේම පසුගිය වසර කිහිපය පුරා ජනතා අවධානය දිනා ගැනීම සඳහා ආණ්ඩුව තුළ සිටිමින්ම වත්මන් බුද්ධ ශාසන ඇමතිවරයා ගෙන යන ක්‍රියාකලාපය ගැන සබුද්ධික ජනතාවට අමුතුවෙන් පැහැදිලි කර දිය යුතු නොවේ. සෝම හිමිගේ අපවත්වීම විකුණන් කෑ හෙළ උරුමයේ වර්තමානය දකින ජනතාව තවදුරටත් එවැනි ඇස් බැන්දුම්වලට අසු වේ යැයි සිතීම උගහටය.

මේ රටේ මිනිසුන් ඉදිරියට මේ ජරාජීර්ණ දේශපාලන ව්‍යුහය විශ්වාස නොකරනවාට සැකයක් නැත. ඒ නිසා අපි තවදුරටත් සාම්ප්‍රදායික ලෙස දේශපාලනඥයින්ටම සියළු වැරදි බැර නොකර සිටිමු. රටක් වශයෙන් නැගී සිටීමටත්, එහි ජනතාව අවදි කිරීමටත් අප සියළු දෙනාටම සාමූහික වගකීමක් ඇත. ඔබ කියන ලෙස අප තවදුරටත් දේශපාලන උපක්‍රම වලට හසු විය යුතු නොවේ. අපට නම් හැඟෙන්නේ ඔබ සන්නස්ගල නම් පරාජිත දේශපාලකයාගේ අවස්ථාවාදී ගැටයකට හසු වී ඇති බවය.

ඉන්දියානු මෙගා නාට්‍ය ගැන, ඈත පිටිසර පිහිටා ඇති පහසුකම් අඩු පන්සල් ගැන, විනාශයට පත්වන බෞද්ධ පුරාවස්තු ගැන, ධර්මපාලය ගැන, විද්‍යාලංකාරය ගැන මෙන්ම ඔබගේ දහම් පාසල් ගමන ගැනද සඳහන් කිරීමෙන් බාගදා ඔබ අපේක්ෂා කරන්නට ඇත්තේ එදා මාධ්‍ය සාකච්ඡාවේ ඔබ සමඟ පෙළට සිටගත් අනෙක් 'පොරවල්' මෙන් ඔබ මෙරට පොදු මිනිසාගේ අවිහිංසක සංස්කෘතියට වෛර කරන්නෙක් නොවන බව උදෘත කිරීමට විය යුතුය. එහෙත් ඔබේ ඒ ප්‍රකාශනය සත්‍යක් වූවත් නොවූවත් ඔබ වැඩිදුර කලබල විය යුතු නැත. බෙදුම්වාදය වෙනුවෙන් විවෘත්තව පෙනී සිටින රැජිණි කාන්ත් ප්‍රමුඛ දකුණු ඉන්දීය නළුවන්ගේ නිර්මාණ තව තවත් නරඹන අප වැනි 'සුප්‍රබුද්ධ කලාව නොදන්නා ප්‍රේක්ෂකයෝ' මෙවන් 'සුළු' සිද්ධියක් නිසා ඔබේ ප්‍රේක්ෂකාගාරයෙන් ඉවත් වී නොවනු ඇත.

ඔබේ ලියවිල්ලේ යටි පෙළ කියන අයුරින්ම මාගේ සහෝදර සිංහල බෞද්ධයෝ හරිම මෝඩයෝය. වහා කිපෙන සුළුය. ඔවුන් ඔබේ බෙල්ල කපන බවට තර්ජනය කළත්, ගල් ගසා මරණ බව තර්ජනය කළත් ඒවා කිසිවිටෙක කිසිඳු අයුරකින් යථාර්ථයක් නොවන්නේය. අඩුම ගානේ මෙවැනි සිද්ධියක් සිදු වූ බව හෝ ඒ අහිංසක මිනිසාට ඉතා ඉක්මනින් අමතක වී යනු ඇත.

අවසාන වශයෙන් කුඩා කතන්දරයක් උපුටා දක්වමි. ඒ ගැන එහි රචකයා වන ඉෂාන් ජයසූරිය සහෝදරයා මට සමාව දිය යුතුය. මා සිතන අන්දමට මෙහි කතා නායකයා වන අබිලින් විජේරාමේදී මට මුණ ගැසී ඇත. දැන් ඒ අබිලිං රෝයල් තැප්‍රෝබේන් හි යාවජීව සාමාජිකයෙකු විය හැක.
රැඩිකලුන්ට අනුව ඔවුන්ට සාමාන්‍ය මිනිසුන්ට වඩා උසස් දැක්මක්, බුද්ධියක් පවතී. එම නිසාම තමන්ගේ රසවින්දනය සාමාන්‍ය මිනිසුන්ට වඩා ඉතා ඉහළ යැයි රැඩිකලුන් කියති.

ඔවුන්න්ගේ නිර්මාණශීලිත්වය කොතරම්ද යත් ඕනෑම රෙද්දක් කලාත්මකව සහ දාර්ශනිකව දැකීමේ කුප්ප හැකියාවක් රැඩිකලුන්ට ඇත.

වරක් අප ගමේ සිටි එකම රැඩිකලයා වූ අබිලිංට මේ උසස් රසවින්දනය නිසා අපූරු අකරතැබ්බයකට මුහුණ දීමට සිදුවිය.

අබිලිං ප්‍රේම කෙරුවේ ගමේම සුන්දර තරුණිය වු කුසුමාටය.

එහෙත් නෝංජල් පෙනුමකින් යුත් අබිලිංට කොතරම් උත්සාහ කළද කුසුමාගේ හිත දිනා ගැනීමට නොහැකි වීම එතරම් මවිත වීමට කරුණක්ද නොවේ. දිනක් පිට ගමකින් කුසුමාගේ නිවසට පැමිණි කඩවසම් තරුණයෙකු නිසා ඇයගේ පිටගම්කාර පෙම්වතා පිළිබඳව ගමම දැන ගත්තේය.

සිත් බිඳීමත්, තමන් පණ මෙන් ආදරය කරනා කුසුමා තවකෙකුට හිමි වීමත් අබිලිංට දැඩි සිත් වේදනාවක් විය. ආදරයේ නාමයෙන් මීළගට සිදු කළ යුතු දේ ඔහු දැන සිටියේය.

පසුදිනට හිරු පහන් වූයේ මුලු ගමම එකම කලබගෑනියකිනි. කුසුමා පිළිබඳ අමු කෙබර ලියා ගම පුරාම කැළෑ පත්තර අලවා තිබීම ඊට හේතුවයි. සුදු පත්තරයේ කහ පැහැති වර්ණ ගැන්වූ පසුබිමක රතු අකුරින් ලියූ කැළෑ පත්තර දුටු විට එය කාගේ වැඩක් දැයි සිතා ගැනීම කුසුමාගේ සහෝදරයන්ට අපහසු නොවීය..

මුලු ගමම සමග පොලු මුගුරුද රැගෙන මිනිත්තුවක් හෝ පමා නොවී ඔවුන් අබිලිංගේ නිවසට යන්නේ ඒ නිසාය..

ගමේ දාමරිකයා ලෙස ප්‍රසිද්ධ කුසුමාගේ බාල සොහොයුරා නිවස තුලට ගොස් බෙල්ලෙන්ම අල්ලා අබිලිං පිරිස ඉදිරියට ගෙන ආවේය..

කුසුමාගේ වැඩිමහල් සොහොයුරා සංසුන් ය. අහිංසකයෙකුට තඩි බෑම කිසිදින අනුමත නොකරන ඔහු පිරිස ඉදිරියේ අබිලිංගෙන් ප්‍රශ්න කිරීම ඇරඹිය..

"උබද අපේ නංගිට කැළෑ පත්තර ගැහුවේ?"

"ඔව්"

සිය පා ඇගිලි තුඩු වලින් පොලව හාර හාරා බිම බලා සිටි අබිලිං කෙදුරුවේය.

"ඇයි උබ එහෙම කලේ?" කෝපය පිට වෙන රත්වූ දෑසින් යුත් කුසුමාගේ වැඩිමහල් සොහොයුරාගෙන් තවත් ප්‍රශ්නයකි.

පිරිස දෙස බැල්මක් හෙලු අබිලිං උගුර පාදා පෙර සිට සුදානම් කර ගත් කොලය අතට ගෙන එය දෙස බලා සිය කතාව ඇරඹිය..

"ඒ කැළෑ පත්තරය මගේ නිර්මාණයක්. ඒකෙන් කුසුමට අපහාස වෙලා නම් විවාදයකට එන්න. මෙහෙම ගෝත්‍රිකයො වගේ පොලු අරන් ගහගන්න එන්නේ නැතුව. නිර්මාණ කරන එක කලාකරුවගේ වැඩක්. නිර්මාණ වාරණය මහා ගෝත්‍රික සමාජ ලක්ෂණයක්. කලාව වාරණය කරන මේ ගෝත්‍රික පසූගාමි ගම කොහොම දියුණු ...." අබිලිංට කියන්නට හැකිවුයේ එපමණය. ඉන්පසුව සිදුවූ දේ විස්තර කිරීමට අවැසි නොවේ.

කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේ සෙසු රැඩිකලයන්ටත් ලගදීම "අබිලිං"ට සිදුවූ දේ සිදුවන බව නම් විස්වාසය.

මීට ෆේස්බුක් ස්ටේටස් නොදැමන මුත් ඔබේ රංගනය රස විඳි ප්‍රේක්ෂකාගර හැර නොයන මම.

Comments

Popular posts from this blog

නවක වධයට තිත තබමු

ජවිපෙ - ගමනක අග