මඩකරියන්ගේ සමනළ පාරාදීසය : ෆේස්බුක්
Link to PDF
- පැතුම් රණසිංහ -
'සැබෑ' 2018 අගෝස්තු 12 කලාපය
දිනපතා ෆේස්බුක් ඔස්සේ අලුත්
අලුත් මාතෘකා සමාජගත කරයි. මෙය රටේ දැවෙන ප්‍රශ්න අමතක කරවීමේ සියුම් කලාවක් වශයෙන්
ද භාවිතා කෙරෙයි. ඉමක් කොනක් නැති කැලෑ පත්තර ද විවිධාකාර දේශපාලන අරමුණු සඳහා එක්
ක්ෂණයකින් ලක්ෂ ගණනක පිරිසකට බෙදා හැරීමට ෆේස්බුක් මහෝපකාරී වී තිබේ. ඒ අතර තමා
විසින්ම තමාට මඩ ගසා ගනිමින් ප්‍රසිද්ධිය සොයා යෑමට උත්සාහ කරන මානසික ආබාධිතයන්ද නැතුවාම
නොවේ. කෙසේ වෙතත් රටක රජයකට, නීතියකට හෝ කිසිඳු පොදු සාරධර්මයක් ඔස්සේ පාලනය කළ නොහැකි
ෆේස්බුක් දෙපැත්ත කැපෙන ආයුධයකි.
ආසන්නතම සිද්ධිය වූයේ මහරගම
නගරසභාවේ සභාපතිවරයා තමන්ට ‘සර්’ ලෙස ආමන්ත්‍රණය කරන්නැයි නියෝග කරමින් සභාපති කාර්යාලය
ඉදිරිපස ප්‍රදර්ශනය කළ බව කියන දැන්වීමක් ෆේස්බුක් හරහා හුවමාරු වීමයි. ඇසුරු සැනකින් එම පුවත මහරගම
සභාපතිවරයා විසින් ප්‍රදර්ශනය කළ බව කියන නියෝගයේ ඡායාරූපයක් ද සමඟ ෆේස්බුක් අඩවිය
පුරා බෙදා හැරිණි. එසේ බෙදා හැරිය අය අතර බුද්ධි කලම්භන සංවාද වල යෙදෙන විශ්වවිද්‍යාල
ආචාර්ය මහාචාර්යවරුන්, නිදහස් මාධ්‍යවේදීන්, සමාජ ජාල ක්‍රියාකාරීන් බව කියන අය, සිස්ටම්
චේන්ජ් කිරීම සඳහා ෆේස්බුක් අරගල කරන විරු සිසු අයියලා, එම විරු
සිසුවන්ට පෙම් බැඳි සුරතල් නංගිලා ආදී මෙකී නොකී විශාල පිරිසක් වෙති. මෙකී අසත්‍ය ප්‍රචාරය
ප්‍රචාරය වීමෙන් පසු මහරගම නගරාධිපතිවරයා එම පුවත අසත්‍යක් බවත් ඊට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග
ගන්නා බවත් පවසා තිබුණි.
මහරගම නගරාධිපතිට හෝ වෙනත්
ඕනෑම අයෙකුට ෆේස්බුක් සමාජ ජාල ඔස්සේ පෞද්ගලිකව මඩක් ගැසූ විට ඊට එරෙහිව ඔවුන්ට පෞද්ගලික
මට්ටමින් පියවර ගත හැකිය. තමන්ට එරෙහිව සිදු වන ප්‍රචාර අසත්‍ය බව සමාජය වෙත ප්‍රකාශ
කළ හැකිය. අවශ්‍ය නම් තමාට සිදු වූ අගතිය සම්බන්ධව නෛතික ක්‍රියාමාර්ගවලට එලබීමට හැකිය.
එහෙත් මඩ සහ අසත්‍ය ප්‍රචාර නිකුත් කරන්නේ සංස්කෘතියට සහ ජන සම්ප්‍රදායන්වලට එරෙහිව
නම් එලෙස එම මඩ වලට එරෙහිව කටයුතු කරන්නේ කවුද ?
මහරගම නගරාධිපතිවරයාගේ ‘සර්’
සිද්ධියට ආසන්නම දිනෙකදී ශිෂ්‍යත්ව විභාගය වෙනුවෙන් පෙනී සිටින දරුවන් සඳහා පිරිත්
පැන් බෝතල් අලෙවි කරන බවට වන ප්‍රචාරයක් ෆේස්බුක් හරහා පැතිරී ගියේය. එහෙත් සැබෑවටම
සිදු වී තිබුණේ දකුණු පළාතේ පෞද්ගලික අධ්‍යාපන ආයතනයක් විසින් විභාගයට සහභාගී වන දරුවන්
සඳහා පිරිත් පැන් බෝතල් බෙදා හැරීමයි. මෙම ප්‍රචාරයද ෆේස්බුක් හරහා ගෙන ගියේ ඉහත සඳහන්
කළ ප්‍රබුද්ධ රැඩිකල් කුලකයේ සිටීමට සහ ඊට ඇතුල් වීමට දැඩි වුවමනාවකින් පෙලෙන උගත්
බුද්ධිමත් ප්‍රජාවයි. පිරිත් පැන් බෝතල් කර බෙදාහැරීම වරදක් නම් එම වරදට වගකිව යුත්තේ
එම කාර්යය සිදු කරනු ලැබූ අදාළ ආයතනය යි. විවේචනයට ලක් විය යුත්තේ එම ආයතනයි. එහෙත්
අවසානයේදී අවිචාරවත් ලෙස විවේචනයට ලක් වන්නේ සම්ප්‍රදායික ජන විශ්වාසයන් ය.
ෆේස්බුක් වෙබ් අඩවියේ ලංකාව
තුළ ක්‍රියාත්මක වන සමූහයන් ගණනාවක් සංස්කෘතික ප්‍රහාරයන් සඳහාම නිරන්තරව ක්‍රියාකාරී
වී පවතී. බොහෝ විට මේවා සිදුවන්නේ ව්‍යාජ ෆේස්බුක් ගිණුම් හරහා ය. සංවිධානාත්මකව සිදු
වන මෙවැනි ප්‍රචාරයන් පාලනය කිරීමට ඇති ඉඩකඩ ඉතා අවමය. මෙවැනි අසත්‍ය පුවත් වලට ප්‍රතිචාර
දැක්වීමෙන් සිදුවන්නේ එය තව තවත් පැතිරී යාමයි. එහෙයින් කළ හැකි එකම දෙය වන්නේ ෆේස්බුක්
වෙබ් අඩවියටම රිපෝර්ට් කිරීමයි.
ශ්‍රී ලංකාවේ සාක්ෂරතාවය ලෝකයේ
ඉහළම අංකයක ඇති බව සැබෑවක් වුවත් අපේ මිනිසුන්ගේ පරිඝනක සාක්ෂරතාව පවතින්නේ තවමත් ඉතා
පහළ මට්ටමකය. විශේෂයෙන්ම සමාජ ජාල හරහා ප්‍රචාරය වන සියල්ල සත්‍ය නොවන බව තේරුම් ගැනීමට
පිටිසර ජිවත් වන තලතුනා සමාජ ජාල භාවිතා කරන්නන්ට තබා නාගරිකව ජිවත් වන තරුණ සමාජ ජාල
භාවිතා කරන්නන්ට පවා නොහැකිය. අප පය තබා තිබෙන්නේ සමාජ ජාල යුගයකටය. එහෙයින් ඊට පිටුපා
සමාජ ජාල තහනම් කිරීම වැනි කැකිල්ලේ තීන්දුවකට අවතීර්ණ වීමට අප සමාජයට නොහැකිය.
එහෙයින් කළ හැකි වන්නේ සමාජ ජාල භාවිතය පිලිබඳ පුළුල් දැනුවත් කිරීමක් සමාජයට ලබා දීමයි.
කුඩා දරුවන්ට සමරිසි අධ්‍යාපනයක් ලබා දීමට වඩා එම කාර්යය මහත් සමාජ වටිනාකමකින් යුක්ත
වේ.
ෆේස්බුක් වැනි සමාජ ජාල හරහා
සෘජුව අසත්‍ය ප්‍රචාරයන් පැතිරවීමට අමතරව මතවාදීමය ව්‍යාකූලතා ඇතිකරන තවත් ක්‍රම කීපයකි.
ඉන් එක් ක්‍රමයක් වන්නේ පැරඩි (Parody) ය. මෙහිදී සිදු වන්නේ සිය සතුරාගේ කඳවුර වෙනුවෙන්, සතුරු මතය වෙනුවෙන්
පෙනී සිටින බව අඟවමින් සතුරු කඳවුරේ අනෙක් ක්‍රියාකාරීන් අපහසුතාවයට පත් වන අන්දමේ
මෝඩ, අන්තගාමී අදහස් අඛණ්ඩව මුදා හැරීමයි. මෙය සතුරු කඳවුරෙහි ප්‍රතිරූපය ඉතා පහසුවෙන්
බිඳ දැමිය හැකි ක්‍රමයකි. පසුගිය සමයේ රෙජිම මාරු කිරීමේ දේශපාලන ව්‍යාපෘතීන් සඳහා
මෙවැනි පැරඩි ව්‍යාපෘතීන් ඉතා විශාල වශයෙන් යොදාගනු දැකගත හැකි විය.
වර්තමානය වන විට බුදු දහම සහ
සිංහල සංස්කෘතියට පහර ගැසීම සඳහා ද, එම සංස්කෘතික හරයන් නව පරපුර හමුවේ අවමානයට පත්
කරමින් සමච්චල් කිරීම සඳහා ද සංවිධානාත්මක පැරඩි ව්‍යාපෘතීන් ගණනාවක් ක්‍රියාත්මක වනු
දැකිය හැකිය. ඒ සඳහා ක්‍රියාත්මක වන ව්‍යාජ ගිණුම් අති විශාල සංඛ්‍යාවක් දැකගත හැකිය.
ෆේස්බුක් ගැටළු සම්බන්ධව උපදෙස්
ගැනීම සඳහා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය නම් රජයට අනුබද්ධිත ආයතනයක් තිබේ. එහෙත් අසත්‍ය
තොරතුරු ප්‍රචාරය සම්බන්ධයෙන් සහ රටට, සංස්කෘතියට අහිතකර වෛරීසහගත ෆේස්බුක් ව්‍යාපෘතීන්
සඳහා ඊට කළ හැකි කිසිවක් නැත. එම ආයතනය ප්‍රකාශ කර සිටින්නේ එවන් අසත්‍ය තොරතුරු මුදාහැරෙන
මූලය තමන්ට සොයාගැනීමට හැකි නමුත් එසේ සොයාගත හැකි වන්නේ අධිකරණ නියෝගයකින් පසුව පමණක්
වන බවය. එහෙත් රට සහ එම රටෙහි ජීවනාලිය වන සංස්කෘතික හර පද්ධතියට එරෙහිව සිදු වන සමාජ
ජාල ව්‍යාපෘතීන් පිළිබඳව අධිකරණයට පැමිණිලි කොට නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කාලය සහ
ධනය නාස්ති කිරීමට ඉදිරිපත් වන්නේ කවුද ?
සෑම දේශපාලන කණ්ඩායමක්මත් මේ
වන විට ඉදිරි මැතිවරණ ඉලක්ක කරගෙන තම තමන්ගේ ෆේස්බුක් මෙහෙයුම් බලගන්වමින් සිටී.
කවුරු කවුරුත් ඉතා විනයවත් ලෙස ෆේස්බුක් ප්‍රචාරයන් මෙහෙයවීම ඉතා වැදගත් වනු ඇත.
අද වෙන කෙනෙකු වෙත, ඔබේ සතුරෙකු වෙත එල්ල වන ෆේස්බුක් මඩ සහ අසත්‍ය ප්‍රචාර හෙට ඔබ
වෙනුවෙන් ද එල්ල විය හැක. අප පියනගන්නේ සමාජය එකම ජාලයකට ගැනෙන අනාගතයකටය. එහෙයින්
කොන්දේසි විරහිතව ෆේස්බුක් අවභාවිතාවන්ට එරෙහි වෙමු.
හිට්ලර්ගේ වධ කඳවුරක සිරගතව
සිටි මාර්ටින් නිමොලර් නමැති කතෝලික පූජකවරයෙකුගේ ලෝක ප්‍රකට කවි පෙළක සිංහල පරිවර්තනය
අවසාන වශයෙන් උපුටා දක්වමි.
"මුලින්ම
ඔවුන් ආවේ සමාජවාදීන් සොයාගෙනය.
මම
සමාජවාදියකු නොවන නිසා මම ඒ ගැන කතා නොකළෙමි.
ඊළඟට
ඔවුන් ආවේ වෘත්තීය සමිති ක්‍රියාකාරීන් සොයාගෙනය.
මම
වෘත්තීය සමිති ක්‍රියාකාරිකයකු නොවන නිසා මම ඒ ගැන කතා නොකළෙමි.
ඊළඟට
ඔවුන් යුදෙව්වන් සොයාගෙන ආවද මම කතා නොකළෙමි.
මන්ද
මම යුදෙව්වකු නොවන බැවිනි.
අන්තිමේදී
ඔවුහු මා සොයාගෙන ආහ.
ඒ
වන විට මා වෙනුවෙන් කතා කරන්නට කිසිවකු ඉතිරිව සිටියේ නැත."

Comments
Post a Comment