ආර්ථික ඝාතකයන්ට පාවා දෙන රටක ආර්ථික සුක්කානම : බදු ප්‍රතිපත්තිය
-පැතුම් රණසිංහ-
2017
අංක 24 දරණ නව දේශීය ආදායම් පනත මෙම වසරේ අප්‍රේල් 01
දිනෙන් ආරම්භ වන මූල්‍ය වර්ෂයේ සිට බලාත්මකය. 1932 ආදායම් බදු ආඥා පනතේ පටන් 2006
දේශීය ආදායම් පනත දක්වා විටින් විට කිහිපවරක් නව ආදායම් බදු පනත් හඳුවාදෙන ලදි.
එහෙත් ඒ සියල්ලටම වඩා දැඩි ආන්දෝලනයකට තුඩු දුන් 2017 දේශීය ආදායම් පනතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ
නඩු 10 කට වැඩි ගණනක් විවිධ පාර්ශවයන් විසින් පවරා තිබුණි. අවසානයේදී පසුගිය වසරේ
සැප්තැම්බර් මාසයේදී උක්ත බදු පනත පාර්ලිමේන්තුවේ සම්මත වූයේ සංශෝධන සහිතවය.
නව බදු
පනත බලාත්මක වී සිව් මසක් ඉක්ම යාමටත් මත්තෙන් ඊට එරෙහිව එයින් බලපෑමට ලක්වන විවිධ
පාර්ශවයන් විවිධ ක්‍රියාමාර්ගයන් ගනිමින් සිටී. මේ මස මුල් සතියේ දී රජයේ වෛද්‍ය
නිලධාරීන්ගේ සංගමය විසින් දියත් කළ වැඩ වර්ජනයට නව බදු පනත ඔස්සේ වෛද්‍යවරුන්ගේ
බදු වැඩිවීමද හේතු වී තිබුණි. තවත් වෘත්තීය සමිති ගණනාවක් ඉදිරියේදී මෙම බදු පනතට
එරෙහිව වෘත්තීය ක්‍රියාමාර්ග ගැනීම පිණිස සංවිධානය වෙමින් සිටී. මේ අතර මාලනී
ෆොන්සේකා, සිරිල් වික්‍රමගේ ආදී ප්‍රවීනතම කලාකරුවන් අනුශාසකත්වය දරණ, සුදත් රෝහණ
මහතා සභාපතීත්වය දරණ නිදහස් කලා සන්ධානය ද බදු දඩයමට එරෙහි කලාකරුවෝ යන මැයෙන්
සම්මන්ත්‍රණයක් සූදානම් කොට තිබුණි.
නව බදු
පනතට එරෙහිව කරගෙන යන වෘත්තීයකයන්ගේ මෙම ක්‍රියාකාරකම් සියල්ල නව බදු පනත නිසා
බලපෑමට ලක් වූ තම තමන් නියෝජනය කරන ක්ෂේත්‍රයන්හි ආරක්ෂණය ඉලක්ක කොටගෙන ඇති බව
පෙනී යයි. එහෙත් ඒ සියල්ල පරයන තියුණු අභියෝගයක් නව බදු පනත ඔස්සේ රටේ ආර්ථිකයට
එල්ල වී තිබේ.
රටක්
විසින් ක්‍රියාත්මක කරන බදු ප්‍රතිපත්තිය ඒ රටේ ආර්ථිකය මෙහෙයවන සුක්කානමක් ලෙස ක්‍රියාකරයි.
එනම් රටේ ආර්ථිකය ගමන් කළ යුතු දිශානතිය කෙරෙහි තීරක බලපෑමක් එල්ල කිරීමේ හැකියාව
එම රට අනුගමනය කරන බදු ප්‍රතිපත්තිය තුළ ගැබ් වී තිබේ. එබැවින් නව බදු පනතක් සකස්
කළ යුතු වන්නේ රටට අදාළවය. එහිදී රටේ බුද්ධිමතුන්ගේ, ව්‍යාපාරිකයන්ගේ,
වෘත්තිකයන්ගේ අදහස් අනිවාර්යයෙන් සළකා බැලිය යුතුය. එහෙත් දැන් බලාත්මක වී පවතින
2017 අංක 24 දරණ නව බදු පනත යනු එසේ අප රට වෙනුවෙන් අපේ රටේ බදු විශේෂඥයින් විසින්
සකස් කළ ලියවිල්ලක් නොවේ. ඉතා පැහැදිලිව දකින්නට ලැබෙන කරුණු අනුව ජාත්‍යන්තර මූල්‍ය
අරමුදලේ උපදෙස් හා බලපෑම පිට රජය විසින් මහජනයා වෙත පටවා ඇති වත්මන් බදු පනත යනු
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ඊට පෙර අප්‍රිකාවේ ඝානා රාජ්‍ය සඳහා සකස් කළ බදු
පනතේ සර්ව සම පිටපතකි. සන්ඩේ ටයිම්ස් පුවත්පත විසින් මේ පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය
අරමුදලේ ශ්‍රී ලංකා අංශ ප්‍රධානී ජේ. ලී මහතාගෙන් විමසීමක් කර තිබුණි. ඊට ඔහු
පිළිතුරු දී තිබුණේ “නව
බදු පනත ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකා පාලනය සමඟ පසු ගිය වසර තුළ පැවැත්වූ
පුළුල් සහයෝගීතාවක ප්‍රතිඵලයක් බවත් ඒ සඳහා දේශීය විශේෂඥයන්ගේ ද ප්‍රතිචාර ඇතුළත්
කල බවත්”ය.
ලංකාවට හඳුන්වාදුන් පනත ඝානා පනතේ කාබන් කොපියක්ය යන්න ඔහු විසින් ප්‍රතික්ෂේප කර
නොතිබුණි. කැළණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය
සුනන්ද මද්දුමබණ්ඩාර මහතා සඳහන් කරන අන්දමට ලංකා රජය විසින් ජාත්‍යන්තර මූල්‍ය
අරමුදලෙන් ලබාගත් ණය මුදලෙහි 3 වන වාරිකය වන ඩොලර් මිලියන 166 ක මුදල 2017 අප්‍රේල්
මාසයේදී පොරොන්දු වූ පරිදි ලබා නොදී පමා කර තිබෙන්නේ ලක් රජය විසින් ජාත්‍යන්තර
මූල්‍ය අරමුදලේ නියමයන් පරිදි නව බදු පනත එම අවස්ථාවේදී ක්‍රියාත්මක කිරීමට
අසමත්වීම නිසාය. ශ්‍රී ලංකාව වැනි පරිධියේ රාජ්‍යයන් බටහිර ප්‍රාග්ධනය ඉදිරියේ තව
තවත් උගුලට හසුවන ආකාරය මේ අනුව ඉතා හොඳින් පැහැදිලි වේ.
රජයේ
පාර්ශවයෙන් නව බදු පනත සාධාරණීකරණය කිරීම පිණිස යොදවා සිටින පිරිස් ගෙන එන ප්‍රධාන
තර්කය වන්නේ දීර්ඝ කාලයක් තිස්සේ ඇතිවී තිබෙන ණය බරෙන් නිදහස් වීම සඳහා රාජ්‍ය බදු
ආදායම ඉහළ දමාගත යුතු බවයි. ඔවුන් ප්‍රකාශ කරන ආකාරයට 1977 දී දළ දේශීය
නිෂ්පාදනයෙන් 24.2% ක්වූ බදු ආදායම ඉන් දශක 2 කට පසු 1998 දී 14.5% ක් දක්වා අඩුවී
තිබේ. තවද මෙය ක්‍රමිකව අඩු වී 2016 දී දළ දේශීය නිෂ්පාදනයෙන් 12.4% දක්වා අඩකට
ආසන්නව බදු ආදායම අඩු වී ඇත. මෙහිදී එම පිරිස් විසින් හිතා මතා අමතක කරන කරුණක් ආදායම්
බදු දෙපාර්තමේන්තුවේ හිටපු කොමිෂනර් ජෙනරාල්, මුදල් අමාත්‍යංශයේ හිටපු බදු උපදේශක ආර්.පී.
එල් වීරසිංහ මහතා සිහිපත් කරයි. එනම් 1977 ට කලින් රාජ්‍ය බදු අදායම පදනම් වූයේ
අපනයන බදු මතය. 1977 දී ආර්ථිකය විවෘත්ත කිරීමෙන් පසු ඉතා ශීඝ්‍ර ලෙස එම අපනයන බදු
ආදායම අඩු වූ අතර එම කාරණය දළ දේශීය නිෂ්පාදනයේ ප්‍රතිශතයක් ලෙස බදු ආදායම පහළ
යාමට සෘජුවම බලපා ඇත.
කෙසේ
වෙතත් වර්තමාන රජය විසින් රාජ්‍යයේ පැවැත්ම උදෙසා බදු ආදායම වැඩි කළ යුතු බව
කියමින් රටේ පුරවැසියන් මත පැටවී ඇති බදු බර වැඩිකරන අතරම සිංගප්පූරුව, ඉන්දියාව
වැනි රටවල් සමඟ අත්තනෝමතික ලෙස නිදහස් වෙළඳ ගිවිසුම් අත්සන් කරමින් එම රටවල් ඔස්සේ
ශ්‍රී ලංකාවට ආනයනය කෙරෙන භාණ්ඩවලට මහා පරිමාණ බදු සහන ලබා දෙමින් තිබේ. දැනටමත්
අත්සන් කොට ක්‍රියාත්මක කිරීමට සූදානම් වන ආන්දෝලනාත්මක සිංගප්පූරු - ශ්‍රී ලංකා
නිදහස් වෙළඳ ගිවිසුම නිසා තමන්ට වසරකට ඩොලර් මිලියන 10 ක බදු වියදමක් ඉතිරිවන බව සිංගප්පූරු
වෙළඳ හා කර්මාන්ත අමාත්‍යාංශය විසින් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබුණි.
කලින්
තිබූ බදු පනත අනුව ශ්‍රී ලංකාවේ වෘත්තිකයෙකු විදේශයකට සේවා සපයමින් උපයන විදේශ
විනිමය සඳහා විශේෂ බදු සහන ලබා දී තිබුණි. එහෙත් මෙම නව බදු පනත හරහා දේශීය
වෘත්තිකයන් අභිප්‍රේරණය කරන එම සහන ඉවත් කොට තිබේ. ඒ අතරම ඉතාමත් පුදුම සහගත ලෙස විදේශික
වෘත්තිකයෙකු මෙහි පැමිණ සපයන සේවාවන් වෙනුවෙන් එම විදේශිකයන් ලබන ආදායම බද්දෙන් නිදහස්
කොට තිබේ. සිංගප්පූරු නිදහස් වෙළඳ ගිවිසුම මෙන්ම එට්කා ගිවිසුමද කඩිමුඩියේ ගෙන ඒමට
කටයුතු කරන අතර ඒවාට පහසු වන ලෙස රටේ අනෙකුත් නීති රීති සහ ප්‍රතිපත්ති ද ඉතා
සූක්ෂම ලෙස ඒවාට අනුකූලව හැඩගැස්වීමට ආර්ථික ඝාතකයින් යුහුසුළුව ක්‍රියාත්මක වන
අන්දම මෙම සාධක ඔස්සේ සිතාගත හැකිය.
මේ අනුව
නව බදු පනත දෙස එක් එක් වෘත්තීය ක්ෂේත්‍රයන්හි වෘත්තිකයන්ගේ වැටුපට බලපාන ආකාරය
අනුව පෞද්ගලික කෝණයකින් ලඝු කොට බැලිය නොහැකිය. රටේ සමස්ත ආර්ථිකයේ දිශානතිය තීරණය
කරන සුක්කානම වන් වූ බදු ප්‍රතිපත්තිය මේ නව බදු පනත ඔස්සේ IMF වුවමනාවන්ට අනුව
අවුල් කොට දමා ඇති බව පෙනී යයි. රටේ ආර්ථිකයට බලපාන මෙවැනි කරණා පිලිබඳ අවදියෙන්
සිටීම රටට හිතැති සෑම පුරවැසියෙකුගේම යුතුකමක් හා වගකීමකි.

Comments
Post a Comment