ථෙරවාද භික්ෂු කතිකාව යළිත් කරළියට



-පැතුම් රණසිංහ-
සැබෑ
2018 ජූලි 29

Link to PDF


2015 ජනාධිපතිවරණයෙන් පසුව බිහිවූ දේදුණු විප්ලවකරුවන්ගේ රජයේ කඩිනම් ව්‍යාපෘතියක් වූ ‘ථෙරවාද භික්ෂු කතිකාවත් පනත’ අලුත් වටයකින් නැවතත් කරළියට ගෙන එමින් තිබේ. වර්තමාන බුද්ධ ශාසන අමාත්‍යවරයා වන ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා දැන් එම කාර්යයට අත ගසා ඇත. 2015 දී මෙම පනත මුලින්ම ගෙන එන විට බුද්ධ ශාසන අමාත්‍ය ධූරය දැරුවේ වත්මන් කතානායක කරූ ජයසූරිය මහතා ය. ඉන්පසුව බුද්ධ ශාසන අමාත්‍ය ධූරයට විජේදාස රාජපක්ෂ මහතා පත් වූ අතර ඔහුද මෙම පනත් කෙටුම්පත සම්බන්ධයෙන් දැක්වූයේ දැඩි උනන්දුවකි. ගාමිණී ජයවික්‍රම පෙරේරා යනු මෛත්‍රීපාල ජනාධිපතිවරයාගේ කැබිනට්ටුවේ තෙවන බුද්ධ ශාසන අමාත්‍යවරයා ය.

මීට වසර තුනකට පෙර ‘ථෙරවාද භික්ෂු කතිකාවත් පනත් කෙටුම්පත’ ආණ්ඩුව විසින් ගෙන ආ අවස්ථාවේදී පිවිතුරු හෙළ උරුමෙයේ ශාසනික ලේකම් බියගම සුසීල හිමි සහ නීතීඥ නුවන් බෙල්ලන්තුඩාව ඇතුළු තිදෙනෙකු විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් ගොනු කරන ලදි. ප‍්‍රියසාත් ඩෙප්, ඊවා වනසුන්දර සහ සිසිර ද ආබෲ යන ත‍්‍රීපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම පෙත්සම් කැඳවා තිබුණි. මේ පිළිබඳව පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතාගෙන් කළ විමසීමකදී ඔහු පැවසුවේ තම පක්ෂය විසින් ඉදිරිපත් කළ පෙත්සම සළකා බැලීමෙන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් යෝජිත පනත් කෙටුම්පතට සංශෝධන ගණනාවක් ඉදිරිපත් කොට තිබෙන බවය. එසේ නොවන්නේ නම් මේ සඳහා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර අනුමැතිය අනිවාර්ය කොට ඇති බවද ඒ මහතා ප්‍රකාශ කර සිටියේය.

2015 මැයි මාසයේදී ථෙරවාද භික්ෂු කතිකාවත් කෙටුම්පත කැබිනෙට්ටුවට ඉදිරිපත් වූ අතර එහිදී එයට කැබිනට් අනුමැතිය හිමි විය. 2015 ජනවාරි 08 දා සිය ජයග්‍රහණයෙන් පසුවදාම මෛත්‍රීපාල ජනාධිපතිවරයා රනිල් වික්‍රමසිංහ මහතාව අගමැති ධූරයට පත් කරමින්, ජනාධිපතිවරණය ජය ගැනීම පිණිස තමන්ට සහාය දැක්වූ අනෙක් පිරිස් වලට අමාත්‍ය ධූර ලබා දෙමින් නව කැබිනෙට් මණ්ඩලයක් පිහිටුවා ගන්නා ලදී. නීතිඥ කනිෂ්ක විතාරණ මහතා පවසන පරිදි ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාට අනුව අගමැතිවරයෙකුගේ ධූර කාලය අවසන් වන්නේ ජනාධිපතිතුමා විසින් ලිඛිතව ඉවත් කරනු ලැබුවහොත් හෝ ඉල්ලා අස්‌වුවහොත් හෝ මන්ත්‍රී ධූරය අහෝසි වුවහොත් පමණී. මේ කිසිත් සිදු නොවී නව අගමැතිවරයෙකු පත්කළ නොහැක. ඒ සඳහා එම ධූරයේ පුරප්පාඩුවක්‌ නොවීය. ඒ අනුව 2015-01-09 වැනි දින නව අගමැති විසින් ධුරයේ දිවුරුම් දෙන ලද්දේ ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවට පටහැනිවය. තවද ජනතාව විසින් ජනාධිපතිවරණයේදී තෝරා පත් කරගන්නා ලද්දේ නව ජනාධිපතිවරයෙකු විනා නව අගමැතිවරයෙකු හෝ ආණ්‌ඩුවක්‌ හෝ නොවේ. පාර්ලිමේන්තුවේ පැවැති මන්ත්‍රී සංයුතිය පිළිබඳව ද කිසිදු සැලකිල්ලක්‌ නොදක්‌වා නව ජනාධිපති විසින් සිදුකරන ලද එම ප්‍රථම නිල කටයුත්තම ව්‍යවස්‌ථා විරෝධී එකක්‌ වූ වගට ඉතිහාසගත විය.  මේ අනුව ඉතා පැහැදිලිව එදා රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වයෙන්  පත් කරගත් ඒ කැබිනෙට්ටුව ව්‍යවස්ථා විරෝධී කැබිනෙට්ටුවකි. එසේ නම් එකී දින 100 යේ නීති විරෝධී කැබිනෙට්ටුව තුළින් අනුමත වූ ථෙරවාද භික්ෂු කතිකාවත් පනත් කෙටුම්පතද ඇතුළු අනෙකුත් ක්ෂණික අණ පනත් ව්‍යවස්ථා විරෝධී ය. වර්තමාන බුද්ධ ශාසන අමාත්‍යවරයා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සැරසෙන්නේ ව්‍යවස්ථානුකූලව කැබිනට් අනුමැතිය නොලත් ලියවිල්ලකි.

ලාංකේය බුදු සමයේ චිර පැවැත්ම උදෙසා පෙර රජ සමයේදී පොළොන්නරු කතිකාවත, දඹදෙණි කතිකාවත ආදී කතිකාවත් ඇති වී තිබේ. ශාසනයේ නමින් ශාසනයට ඇතුල් වූ දුසිල්වතුන් විසින් සිදු කරන්නා වූ යම් යම් නොපනත්කම් නිසා වර්තමානයේදී එහි ඉදිරි පැවැත්ම අභියෝගයට ලක් වී ඇති බවද නොරහසකි. 1954 වසරේ ප්‍රකාශයට පත් කෙරුණු බෞද්ධ තොරතුරු පරීක්‌ෂක සභා වාර්තාවෙන්ද 1956 වසරේ පළ කෙරුණු බුද්ධශාසන කොමිෂන් සභා වාර්තාවෙන්ද 2002 බුද්ධශාසන ජනාධිපති කොමිෂන් සභා වාර්තාවෙන්ද නූතන භික්ෂු කතිකාවතක අවශ්‍යතාවය අවධාරණය කොට තිබේ. එහෙත් වත්මන් ආණ්ඩුව විසින් මේ ‘ථෙරවාද භික්ෂු කතිකාවත් කෙටුම්පතේ’ වගන්ති මගින් යෝජනා කරන්නේ එකී බුදු සසුන ආරක්ෂා කර ගැනීමේ ක්‍රමවේදයක් ද, එසේත් නැත්නම් ඒ මුවාවෙන් ජාතික ප්‍රශ්න පිළිබඳව සංවේදී වෙමින් දේශපාලන තලයෙහි ක්‍රියාත්මක වන භික්ෂූන් වහන්සේලාගේ හඬ නිහඬ කරවීමේ ක්‍රියාමාර්ගයක් ද යන්න පැහැදිලි කරගැනීමට වටී.

යෝජිත පනත් කෙටුම්පතේ 13 වගන්තිය අනුව අනුව භික්ෂු සංඝයා විෂයෙහි නියෝග පැවරීමේ බලය බුද්ධ ශාසන විෂය භාර අමාත්‍යවරයාට පවරා තිබේ. අප සියළු දෙනා දන්නා පරිදි විනය පිටකය තුළ බුදුන් වහන්සේ විසින් භික්ෂූන් වහන්සේලා අරභයා මනා කොට දේශනා කරන ලද විනය ශික්‍ෂා පද රාශියක් ඇත. වසර දහස් ගණනක් භික්ෂු ශාසනය පැවතුණේ එම විනය ශික්‍ෂා පද මත පිහිටමිනි. වර්තමානයේ අපට චීවරධාරී සමහර ශ්‍රමණයන්ගේ අකටයුතුකම් ගැන අසන්නට දකින්නට ලැබී ඇත්තේ විනය ශික්‍ෂාවන්ගේ මදි පාඩුවක් නිසා නොවන බව පැහැදිලිය. දැනටමත් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක සියළුම අපරාධ නීතිරීතිවලට පුරවැසියකු වශයෙන් භික්‌ෂුව යටත් වෙයි. එසේනම් මෙම කතිකාවත් පනත මගින් යෝජනා කෙරෙන්නේ එයට අතිරේක වූ නීති ප්‍රතිපාදන පැනවීමකි. ජාතික සංවිධාන එකමුතුව විසින් නොබෝද මෙලෙස විසංවාදයට බඳුන් වී ඇති ථෙරවාද භික්ෂු කතිකාවත් කෙටුම්පත පිළිබඳව මාධ්‍ය සාකච්ඡාවක් කැඳවමින් ප්‍රකාශ කොට සිටියේ භික්ෂු සම්ප්‍රදායන් නීතියක් බවට පත් කොට දඬුවම් කිරීම දක්වා රැගෙන යාම වැරදි ක්‍රියාවක් වන බවයි.

මෙම පනත් කෙටුම්පතේ 3(ඉ) වගන්තිය අනුව ප්‍රසිද්ධ ස්‌ථානවල බෞද්ධ භික්‍ෂූන් වහන්සේ නමකට අකැප අයුරින්, භික්‍ෂු විනයට පටහැනි ක්‍රියාවන්හි නියැලීම දඬුවම් ලැබිය හැකි වරදකි. විනය පිටකයට අනුව රහසින් වත් පවෙහි යෙදීම භික්ෂූත්වය අහෝසිවන පරාජිකාවකි. මෙයින් පැහැදිලි වන්නේ ශාසනය ආරක්ෂා කිරීමට වඩා මෙම පනත් කෙටුම්පතට අවශ්‍යව තිබෙන්නේ නූතන භික්ෂුව පන්සලට කොටු කොට තැබීමට බවය. මෙවැනි වගන්ති අනුව භික්ෂූන් වහන්සේ නමක් සත්‍යක්ග්‍රහයක් කිරීම හෝ පා ගමනකට සහභාගී වීම වුවත් විනයට පටහැණි ක්‍රියාවක් ලෙස අර්ථ නිරුපණය කළ හැකිව තිබේ. පනත් කෙටුම්පතේ 11(02) වගන්තියට අනුව එවැනි වරදකට චෝදනා ලැබූ භික්ෂූන් වහන්සේ නමක් මහේස්ත්‍රාත්වරයෙක් වෙත පමුණුවා රුපියල් 50 000 කට නොඅඩු දඩයකට හෝ මාස 6 කට නොවැඩි සිරගත කිරීමකට හෝ එසේත් නැත්නම් මේ දඬුවම් දෙකටම හෝ යටත් කළ හැකිය. මීට අමතරව යෝජිත පනත් කෙටුම්පතේ 3(අ), 3(ආ), 3(ඇ) සහ 3(ඈ) යන වගන්ති මගින් ද නූතන භික්ෂුවට අසාධාරණ සීමා මායිම් පනවා ඇති බවට චෝදනා එල්ල වී තිබේ.

එක් එක් නිකායන් සඳහා භික්ෂු කතිකාවත් සිදුවන්නේ වෙන් වෙන්ව ය. 'සුඛා සංඝස්‌ස සාමග්ගී' යන බුදු වදනට අනුව සංඝයාගේ සමගිය සැපතකි. මේ පනත් කතිකාවත මගින් සිදු වන්නේ නිකාය භේදය තව තවත් තීව්‍ර කිරීමකි. අනෙක් අතට මෙම පනත කෙළින්ම ඉලක්ක කරන්නේ ථෙරවාද බුදු දහමයි.

භික්ෂු සංස්ථාව යනු අධ්‍යාත්මික සහ සමාජයීය ව්‍යුහයකි. ඉතිහාසය පුරාම එම ව්‍යුහයේ සාමාජිකත්වය දරමින් උතුම් චීවරය දරාගත් යතිවරයන් අතින් අප සංස්කෘතික සහ සමාජයීය ඉතිහාසය පෝෂණය වී තිබේ. එහෙත් වර්තමානයේ ශාසනය තුළට ඇතුල් වී ශාසනයේ අරටුව විනාශ කරමින් සිටින පිළිලයන් බඳු වන දුල්සිල්වතුන් නිසා සමස්ත භික්ෂු සංඝයා මත ගෞරවණීය නොවන නීති රීති පැනවීමට පාර්ලිමේන්තුවට ද සදාචාරාත්මක අයිතියක් නැත. උප්පැන්න සහතිකයෙන් බෞද්ධ බව සඳහන් මන්ත්‍රීවරු 161 ක් පමණක් සිටින පාර්ලිමේන්තුවකින් එවැනි කර්තව්‍යක් බලාපොරොත්තු විය හැකිද ?

මේ දක්වා ලංකාවේ ක්‍රියාත්මක වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වන වගන්තියට අනුව ශ්‍රී ලංකා ජනරජය බුද්ධාගමට ප්‍රමුඛස්ථානය පිරිනමන්නේය. අනෙකුත් සියළුම ආගම්වලට පිරිනැමෙන අයිතිවාසිකම් ආරක්ෂා කර දෙන අතර බුද්ධ ශාසනය සුරක්ෂිත කොට පෝෂණය කිරීම රජයේ වගකීම විය යුත්තේය. මේ ‘ථෙරවාද භික්ෂු කතිකාවත් පනතක්’ පෙරට ගෙන එමින් තිබෙන්නේ ද දැනට පවතින ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවත්, විශේෂයෙන්ම එහි 9 වන වගන්තියත් වෙනස් කළ යුතු බවට ආණ්ඩුවේ නව ව්‍යවස්ථා සම්පාදකයින් නිර්දේශ ඉදිරිපත් කරමින් සිටින පසුබිමකය. එහෙයින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන යෝජනාවලිය මෙන්ම ‘ථෙරවාද භික්ෂු කතිකාවත් පනත’ ද එකිනෙකට ස්වායත්ත ව්‍යාපෘතීන් නොව එකම ව්‍යාපෘතියක විවිධ පියවරයන් බව සිහි තබා ගැනීම මැනවි. තවද අවිචාරවත් නිදහස් ආර්ථික ගිවිසුම් වලට ශ්‍රී ලංකාව පටලැවීමත් එකපිට එක ජාතික සම්පත් විකිණීමත් එම ව්‍යාපෘතියේම සන්දර්භයන්ය.

Comments

Popular posts from this blog

නවක වධයට තිත තබමු

ජවිපෙ - ගමනක අග

තුමිදු දොඩම්තැන්න බබෙක් ද ? නැත්නම් අපි බබ්බු ද ?