රජයත් නොදැන අගනුවරදී පැවැත් වූ දැවැන්තම ආගමික සමුළුව
- යොහෝවා සාක්ෂිකරුවන්ගේ ජාත්‍යන්තර සමුළුව සඳහා කිසිඳු අවසරයක් ලබා දුන්නේ නැහැ. ජනාධිපතිවරයාත් ඊට අවසර නොදෙන ලෙස දන්වා සිටියා. ඉදිරියේදි ක්‍රියාමාර්ග ගන්නවා - ක්‍රිස්තියානි කටයුතු පිලිබඳ අමාත්‍යංශය
- අග්‍රාමාත්‍ය කාර්යාලයටත්, මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශයටත්, සංචාරක හා ක්‍රිස්තියානු කටයුතු අමාත්‍යංශයටත් දැනුම් දුන්නත් එම අමාත්‍යංශවලින් මෙම සමුළුව පැවැත්වීමට එරෙහිව කිසිඳු ලිඛිත විරෝධයක් එල්ල වුණේ නෑ - යොහෝවා සාක්ෂිකරුවන්ගේ සංවිධානය
- අපට අදාළ නෑ - අගරදගුරු කාර්යාලය
පසුගිය ජූලි 06 දින සිට ජූලි 08
දින දක්වා ‘යොහෝවා සාක්ෂිකරුවන්’ නමැති ආගමික සංවිධානයේ විශේෂ ජාත්‍යන්තර සමුළුවක්
ශ්‍රී ලංකාවේදී පැවැත්විණි. මේ සඳහා විදේශ රටවල් වලින් යොහෝවා සාක්ෂිකරුවන් 3 400
ක් පමණ දෙනා සහභාගී වූ බව පැවසේ. මීට සහභාගී වූ දේශීය නියෝජිතයින් සංඛ්‍යාව 11,000
කට ආසන්නය. කොළඹ සහ මීගමුවේ සියළුම තරු පංති හෝටල් ඉකුත් සති අන්තයේ වෙන්ව තිබුණේ
මෙකී සමුළුව සඳහා සහභාගී වීමට දිවයිනට පැමිණි යොහෝවා සාක්ෂිකරුවන් වෙනුවෙනි.
එමෙන්ම එම විදේශීය නියෝජිතයින්ට සහාය වීම සඳහා දේශීය කණ්ඩායමක් ද සෑම හෝටලයකම පැය 24
පුරා රැඳී සිටී බව කියනු ලැබේ. සමුළුව ආරම්භ වීමට දින කිහිපයකටම පෙර සිට සමුළුවේ
විදේශ නියෝජිතයින් කටුනායක ගුවන්තොටුපළෙන් දිවයිනට පැමිණෙමින් තිබූ අතර ඔවුන්ව
පිළිගනිම සඳහා විශේෂ කැලිප්සෝ සංගීත කණ්ඩායම් ප්‍රමුඛ පිරිස් ගුවන්තොටුපළේ රැස්වී
සිටින ලදි. ඒ සඳහා ඔවුන්ට ගුවන් තොටුපල නිලධාරීන්ගේ සම්පූර්ණ සහයෝගය ද නොමදව ලැබී
තිබිණි.
සමුළුව පැවැත්වීමට ප්‍රථම පසුගිය
ජුනි 26 වන දින යොහෝවා සාක්ෂිකරුවන්ගේ ශ්‍රී ලංකා ශාඛාව මාධ්‍ය සාකච්ඡාවක් ද
පැවැත්වීය. එක්තරා ජාතික පුවත්පතක් එම මාධ්‍ය සාකච්ඡාව උපුටා දක්වමින් ප්‍රකාශ කොට
තිබුණේ මෙම සමුළුවට සමගාමීව රුපියල් කෝටි 100 ක ආධාරයක් ද ශ්‍රී ලංකාවේ ආර්ථිකයට
ලබා දෙන බවයි. එහෙත් යොහෝවා සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ එම කෝටි 100
ආර්ථිකයට එක් වෙතැයි ගණන් බලා ඇත්තේ මීට සහභාගී වන විදේශිකයින් ශ්‍රී ලංකාවේදී
වියදම් කිරීමට බලාපොරොත්තුවන විදේශ මුදල්
ප්‍රමාණය මත බවයි.
2016 වසරේදී එතෙක් ශ්‍රි ලංකාවේ නිල
වශයෙන් පිලිගැනිමට ලක්ව නොතිබූ ක්‍රිස්තියානි ඉවැන්ජලික සභාවට පිලිගැනිමක් ලැබෙන ලෙස
ඇමරිකාවේ පිහිටි එම ආගමික මූලස්තානය මගින් මෙරට එම සභාවේ දේව මෙහෙයන් සිදු කරනු ලබන
පාදිලිවරුන් හෙවත් ෆාස්ටර්වරුන්ට නිල පූජකවරම ලබා දීමට කටයුතු කළේය. එම අවස්ථාවේදී
එසේ කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා කතෝලික සභාව සිය දැඩි කනස්සල්ලට ප්‍රකාශ කොට
තිබිණි. වර්තමාන ආණ්ඩුවේ ප්‍රබල ඇමැතිවරයකු හා හිටපු ඇමැතිවරියක මේ සදහා සෘජු මැදිහත්වීමක්
සිදු කිරීම හා ආණ්ඩුව ඒ සඳහා අවසරය ලබා දීම ගැනද එම අවස්ථාවේදී කතෝලික සභාව සිය
දැඩි කණස්සල්ල ප්‍රකාශ කොට තිබිණි. මේ වන විට බයිබලයට එකිනෙකට වෙනස් අරුත් ලබා දෙන
මෙවැනි ක්‍රිස්තියානි නිකායන් දහස් ගණනක් බිහි වී ඇත. වාසි සලසා දී ශ්‍රී ලාංකික
කතෝලිකයන් සහ බෞද්ධයන් මෙකී ආගම්වලට හරවා ගැනීමේ ව්‍යායාමයක මූලධර්මවාදීන් යෙදී
සිටින බවට ශ්‍රී ලංකාවේ කතෝලික සභාවේ ප්‍රධානී මැල්කම් රන්ජිත් කාදිනල් තුමා
පසුගිය කාලයේදී චෝදනාවක් ද කර තිබිණි. එහෙත් ‘යොහෝවා සාක්ෂිකරුවන්ගේ’ විශේෂ ජාත්‍යන්තර
සමුළුවක් ශ්‍රී ලංකාවේ පැවැත්වීම පිළිබඳව අගරදගුරු තුමා දැනුවත් දැයි කොළඹ
අගරදගුරු කාර්යාලයෙන් විමසූ විට එම කාර්යාලයෙන් දැන ගැනීමට ලැබුණේ එය තමන්ට අදාළ
නැති කාරණයක් බැවින් ඒ පිළිබඳව කතෝලික සභාව අවධානය යොමු නොකරන බවයි.
මේ අතර ක්‍රිස්තියානු කටයුතු අමාත්‍යංශයේ
සහකාර ලේකම් කල්පනී චන්දිමා මහත්මිය ප්‍රකාශ කළේ මෙම සමුළුව පැවැත්වීම සම්බන්ධයෙන්
සිය අමාත්‍යංශයට ඉල්ලීමක් ලැබුණත් අමාත්‍යංශය විසින් ඊට කිසිඳු අනුමැතියක් ලබා
නොදුන් බවයි. මීට අනුමැතිය ලබා නොදිය යුතු බවට ජනාධිපතිවරයාද ප්‍රකාශ කොට තිබෙන බව
එතුමිය වැඩිදුරටත් ප්‍රකාශ කළා ය. මේ ආකාරයෙන් අදාළ විෂය භාර අමාත්‍යංශයේ අනුමැතිය
තබා රටේ ජනාධිපතිවරයාගේ අනුමැතිය වත් නැති මෙවන් ජාත්‍යන්තර සමුළුවක් සඳහා සුගතදාස
ගෘහස්ත ක්‍රීඩාංගනය වෙන් කර දුන්නේ කාගේ අනුදැනුම මත දැයි යන්න සැක සහිතය. මේ
පිළිබඳව තොරතුරු ලබාගැනීම සඳහා ලියුම්කරු විසින් එහි අධ්‍යක්ෂවරයාව දුරකථනයෙන්
සම්බන්ධ කරගැනීමට දැරූ උත්සාහය ද ව්‍යර්ථ වී ගියේය.
ක්‍රිස්තියානු කටයුතු අමාත්‍යංශයට
අනුව මේ පවත්වා ඇත්තේ අනවසර සමුළුවකි. වැඩිදුර තොරතුරු සොයා බලා ඉදිරි ක්‍රියාමාර්ග
ගැනීම සිදු කරන බවද එම අමාත්‍යංශය ප්‍රකාශ කර සිටී. එහෙත් ‘යොහෝවා සාක්ෂිකරුවන්ගේ’
ශ්‍රී ලංකා ශාඛාව ප්‍රකාශ කර සිටින්නේ තමන් මෙම සමුළුව පැවැත්වීම පිලිබඳ අග්‍රාමාත්‍ය
කාර්යාලයටත්, මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශයටත්, සංචාරක හා ක්‍රිස්තියානු කටයුතු
අමාත්‍යංශයටත් දැනුම් දුන් බවයි. එකී දැනුම් දීමෙන් පසුව මෙම සමුළුව පැවැත්වීම
සම්බන්ධයෙන් කිසිඳු ලිඛිත විරෝධයක් එම වගකිවයුතු පාර්ශවවලින් එල්ල නොවූ බවද ඔවුන්
ප්‍රකාශ කරයි.
ශ්‍රී ලංකාවේ යොහෝවා සාක්ෂිකරුවන්ගේ
ප්‍රධාන මූලස්ථානය වත්තල පිහිටා ඇති අතර දිවයින
පුරා ශාඛා 110ක් පිහිටුවා තිබේ. ලංකාව තුළ යෙහෝවා සාක්ෂිකරුවන්ගේ සභාවේ සාමාජිකත්වය
7000ක් පමණ වෙතැයි කියති. මෙම සභාව විසින් බයිබල් දේශනා සිදු කිරීම දිවයිනේ සෑම
පළාතකම පාහේ කරගෙන යනු ලබයි. එය සතියේ තෝරාගත් දින 4 කදී හයමාසයකට වරක් හෝ මාස
තුනකට වරක් ප්‍රදේශයෙන් ප්‍රදේශයට සිදු කරනු ලබයි. යොහෝවා සාක්ෂිකරුවන්ට අනුව මෙය හදුන්වන්නේ
‘‘ දෙවිගේ
රාජ්‍ය ගැන පණිවිඩය දේශනා කිරීම’ යනුවෙනි.
කතෝලික, ප්‍රොතෙස්‌තන්ත්‍ර, ඩර්නඩොන්ස්
ආදී ක්‍රිස්තියානි ඇදහිලිවල දෙවියන් වහන්සේ, ඡේසුස් හා ශුද්ධ ආත්මය යන ත්‍රිත්වයම
පිළිගත්තද යොහෝවා සාක්‍ෂිකාරයෝ එම ත්‍රිත්වය අතුරින් ශුද්ධාත්මය පිළිනොගනිති. සාතන්
විසින් පාලනය කරන මේ ලෝකය විනාශ වූ පසු දැනට ජීවත්ව සිටින හා මළගිය උන් අතරින් 144
000 ක් දෙනා කිස්තුන් සමඟින් ස්වර්ගික රාජ්‍යය පාලනය කරනු ඇති බවට මොවුන් විශ්වාස
කරති. යොහෝවා සාක්ෂිකරුවන් ආගමික වශයෙන් සමරන්නේ ජේසුස් ගේ මරණය පමණි. රුධිර
පාරවිලයනය ප්‍රතික්ෂේප කරන යොහෝවා සාක්ෂිකරුවන් ලෙඩ රෝගයන් සඳහා යාඥාව ඔස්සේ සුවය
ලබාගත හැකි බවට ඉතාම තදින් විශ්වාස කරති. සැත්කම් මගින් රෝගී තත්වයන්ට ප්‍රතිකර්මයක්
ලෙස ශරීර පටක හෝ ඉන්ද්‍රියන් බද්ධ කිරීමත් මෙම ආගමිකයන් විසින් දැඩිව ප්‍රතිෂේප
කරයි. එසේම මෙම ආගමික කණ්ඩායමේ අනුගාමිකයන් විසින් යුධ හමුදා සේවය සඳහා එක් වීමද
ප්‍රතික්ෂේප කරනු ලබයි. විවාහ බන්ධනයන් වලදී සිය ආගමික කණ්ඩායම තුළින්ම සහකරු හෝ
සහකාරිය තෝරා ගැනීමට මොවුන් හැමවිටම කතයුතු කරති. වෙනත් අගමිකයෙකු හා ප්‍රේම
සම්බන්ධතාවක් පැවැත්වීම පවා යොහෝවා දහමට පටහැණිය. 19 වන සියවසේ බටහිර යුරෝපය තුළ මෙම
ආගමික කණ්ඩායම බිහි කොට ඇත්තේ චාර්ල්ස් මාසේ සහ නෙල්සන් බාබර් නමැති පාස්ටර්වරුන්
විසිනි.
යොහෝවා සාක්ෂිකරුවන් සිය සංවිධානය අභ්‍යන්තරයේ
පවතින රහසිගත කරුණු බාහිරට හෙළි නොකරන බවට ඔවුන්ට දැඩි චෝදනා එල්ල වී තිබේ. පසුගිය
වසරේදී රුසියානු ශ්‍රේෂ්ඨාධිකරණය නිවේදනය කර
සිටියේ මෙම සංවිධානය අන්තවාදී සංවිධානයක් බවයි. ඒ අනුව ශාන්ත පිටර්ස්බර්ග් නගරයේ
පිහිටුවා තිබූ මෙම සංවිධානයේ ප්‍රධාන කාර්යාලය ද රුසියාව පුරා විසිරී තිබුණු තවත් ශාඛා
395 ක් ද වසා දමා රුසියාව තුළ මෙම සංවිධානය තහනමට ලක් කර ඇත. මීට ප්‍රථම ස්පාඥ්ඥය
තුළ යොහෝවා සාක්ෂිකරුවන්ගේ ක්‍රියාකාරකම් තහනම් කොට තිබුණේ හමුදාවේ සේවය ප්‍රතික්ෂේප
කිරීම නිසාය. තවද චීනය, වියට්නාමය, සිංගප්පූරුව වැනි රටවලද මෙම ආගමික සංවිධානයේ
කටයුතු ප්‍රසිද්ධියේ සිදු කිරීම සීමා කොට ඇත. කියුබානු විප්ලවයෙන් පසු කස්ත්‍රෝගේ
පාලනය යටතේ 1974 දී කියුබාව තුළ ද යොහෝවා සාක්ෂිකරුවන්ගේ පල්ලි සියල්ලක්ම වසා දමා
එම සංවිධානය තහනම් කරන ලදි.
මේ වන විට ලොව පුරා විසිරී ඇති
යොහෝවා සාක්ෂිකරුවන් සංඛ්‍යාව මිලියන 20 ක් පමණ වෙති. ඇමරිකාවේ නිව්යෝක් නගරයේ මෙම
සංවිධානයේ ප්‍රධාන ශාඛාව වන වොච් ටවර් පිහිටා ඇත. එය ධවත්ම රාජ්‍ය නොවන සංවිධාන 90
න් එකකි. වොච් ටවර්හි වාර්ෂික ආදායම වසරකට ඇමරිකන් ඩොලර් මිලියන 950 ඉක්මවයි. එයට
මෙම ආදායම් ලැබෙන්නේ යොහෝවා සාක්ෂිකරුවන්ගේ පරිත්‍යාග මගිනි. ප්‍රබල ව්‍යාපාරිකයන්
සහ දේශපාලඥයන් මීට දායක වී ඇත. සිය ආගමික ඉගැන්වීම් ප්‍රචාරය කිරීම සඳහා පොත්පත්
අත්පත්‍රිකා සිය ලක්ෂ ගණනින් මුද්‍රණය කර ලොව පුරා බෙදා හැරීමට මෙම සංවිධානය
කටයුතු කරයි.
මේ රට තුළ අනාදිමත් කාලයක් තිස්සේ
පැවත එන ප්‍රධාන මහා සංස්කෘතිය සමඟ ගැටීමක් ඇතිකර නොගෙන ඕනෑම ආගමිකයෙකුට සිය අභිමත
ඇදහිල්ලක් කරගෙන යා හැකිය. ඉතිහාසය පුරාම එම ආගමික නිදහස අප රටේ තිබිණි. එහිදී
ආගමික නිදහස යන්න ඉතාම පරිස්සම්සහගත ලෙස නිර්වචනය කර එය ක්‍රමානුකූලව ක්‍රියාවේ
යෙදවීම අදාළ බලධාරීන්ගේ අතිශය වැදගත් වගකීමකි. එහෙත් එම වගකීම නිසි පරිදි ක්‍රියාවේ
යෙදෙන බවක් පෙනෙන්නට නැත. එසේ නොවන පසුබිමක් තුළ දළු ලා වැඩෙන සැකය සහ අවිශ්වාසය
විසින් ඇතිකරන්නේ අනර්ථයක්ම පමණි. වර්තමානයේ පෙනෙන්නට තිබෙන පරිදි මේ රටේ තීන්දු
තීරණ ගන්නේ අප විසින් පත්කර යැවූ මහජන නියෝජිතයන් විසින් හෝ ඔවුන් යටතේ පාලනය වන
රාජ්‍ය ආයතන විසින් නොවේ.
- පැතුම් රණසිංහ -

පැතුම්,
ReplyDeleteඔයාගේ article එකේ තියනවා "යොහෝවා සාක්ෂිකරුවන් ලෙඩ රෝගයන් සඳහා යාඥාව ඔස්සේ සුවය ලබාගත හැකි බවට ඉතාම තදින් විශ්වාස කරති" කියල. මේක සම්පුර්ණයෙන්ම වැරදියි.මොකද මෙයාල අසනීප උනාම බෙහෙත් ගන්නවා. මෙයාලගේ doctorslath ඉන්නවා. මෙයාල යාඥාව ඔස්සේ අසනීප වලට සුවයක් ලැබෙනවා කියල විශ්වාස කරන්නේ නැහැ. වෙනත් ක්‍රිස්තියානි ආගම්වල අයයි යාඥා කරලා ලෙඩ හොඳ කරගන්න හදන්නේ. ගොඩක් අය යොහෝවා සාක්ෂිකරුවන්වයි අනිත් ලෙඩ සුව කරන ආගමුයි පටලවාගෙන ඉන්නේ. ඒ ආගම් වල කරන දේවල් මෙයාල කරනවා කියල මෙයාලට චෝදනා කරනවා. මෙයාල කොහෙවත් ලෙඩ සුව කිරීම කරන්නේවත් සල්ලිවලට ආගමට හරවගන්නෙත් නැහැ.මම මෙයාල ගැන අවු.30ක් තිස්සේ දන්න නිසයි මේ කිවුවේ. ඔයත් මේ කාරණය ගැන හොයල බලන්න ඇත්තම යොහෝවා සාක්ෂිකරුවෙක්ගෙන් අහල.නැත්නම් මෙයාලගේ වත්තල මූලස්තානෙට කතාකරල අහන්න. කවුරුත් කියන දේවල් විශ්වාස කරන්න එපා.
මේ website එකෙන් විතර ගන්න පුළුවන්. https://www.jw.org/si
ReplyDelete