නව ව්‍යවස්ථාවක අනතුර තවමත් පහව නැත



ව්‍යවස්ථා මෙහෙයුම් කමිටුව දිගු කාලයකින් රැස්වී නැත. එහෙත් ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලිය අඛණ්ඩව කෙරීගෙන යන බව ව්‍යවස්ථා කළමනාකරණ කමිටුවේ සභාපති එක්සත් ජාතික පක්ෂ ජාතික ලැයිස්තු මන්ත්‍රී ජයම්පති වික්‍රමරත්න මහතා පවසයි. ව්‍යවස්ථා මෙහෙයුම් කමිටුව සඳහා පත් කළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සාමාජිකයන් 21 ක් අතුරින් ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන එකම මන්ත්‍රීවරයා වන දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කර සිටින්නේ මෙම කමිටුව තුළ සිදුවන කිසිවක් පිළිබඳව කමිටු සාමාජිකයන් දැනුවත් නොකරන බවයි. ව්‍යවස්ථා මෙහෙයුම් කමිටුවේ සාමාජිකයන්ගේ අදහස් පවා ලබා නොගෙන රහසේ සකස් කෙරෙන මෙම නව ව්‍යවස්ථා කෙටුම්පත හොර ව්‍යවස්ථාවක් බවද එතුමා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය. මෙම ව්‍යවස්ථා මෙහෙයුම් කමිටුව පත් කළේ 2016 අප්‍රේල් 05 දින පැවැත් වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේ ප්‍රථම රැස්වීමේදීය. මෙහෙයුම් කමිටුවේ සභාපති වන්නේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ය.

නව ව්‍යවස්ථාවක් පාර්ලිමේන්තුවට රැගෙන ආවොත් සිය කණ්ඩායම එක හෙළා එයට විරුද්ධව ඡන්දය පාවිච්චි කරන බව ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම පවසයි. වර්තමානය වන විට ඒකාබද්ධ විපක්ෂය සමඟ මන්ත්‍රීවරු සංඛ්‍යාව 68 කි. යහපාලන ආණ්ඩුව විසින් නව ව්‍යවස්ථාව පාර්ලිමේන්තුවේ ඡන්දයට යොමු කළහොත් ඊට තුනෙන් දෙක අහිමි කර පරාජය කිරීම සඳහා මේ අනුව ඒකාබද්ධ විපක්ෂයට තවත් ඡන්ද අවම වශයෙන් ඡන්ද 7 ක් වුවමනා වේ.

ගෙන ඒමට නියමිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පතේ ප්‍රධානම පාර්ශවකරුවා වන එක්සත් ජාතික පක්ෂයට එය සම්මත කර ගැනීම සඳහා ලංකා දෙමළ රාජ්‍ය පක්ෂයේ ආසන 16 යේ සහය අනිවාර්යෙන් හිමි වන බවට කිසිඳු සැකයක් නැත. ව්‍යවස්ථාව කෙටුම්පත් කිරීමේ ක්‍රියාදාමයේදී ව්‍යවස්ථා කළමනාකරණ කමිටුවේ ජයම්පති වික්‍රමරත්න මහතා සමඟ සම සභාපතීත්වය දැරුවේ දෙමළ රාජ්‍ය පක්ෂයේ මන්ත්‍රී සුමන්තිරන් මහතා ය. පසුගිය මහා මැතිවරණය සඳහා මුස්ලිම් කොන්ග්‍රසයේ නියෝජිතයන් ඉදිරිපත් වූයේ එක්සත් ජාතික පක්ෂය යටතේ අලියා ලකුණිනි. එහිදී පාර්ලිමේන්තුවට තේරී පත් වූ මුස්ලිම් කොන්ග්‍රස් සාමාජිකයන් අතුරින් බහුතරයකට අමාත්‍ය ධූර ලබා දී ඇති පසුබිමක ඔවුන්ගේ සහාය ද මේ සඳහා නොවෙනස්ව ලබා ගැනීමේ හැකියාව එජාප ය සතුය.

නව ව්‍යවස්ථා කෙටුම්පත ජනතා විමුක්ති පෙරමුණ විසින් මේ වන විටත් යෝජනා කොට ඇති 20 වන ව්‍යවස්ථා සංශෝධනයේම දිගුවකි. පාර්ලිමේන්තුවේ සරල බහුතරයක් ලබා ගන්නා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් නොවන අයෙකුට වුවද ජනාධිපති විය හැකි ආකාරයේ සංශෝධන ඉදිරිපත් කරමින් ආණ්ඩුවේ නායකත්වය ජනාධිපතිවරයාගෙන් ඉවත් කිරීමට උත්සාහ කරන ජවිපෙට රනිල්ගේ ව්‍යවස්ථාවට විරුද්ධ වීමට කිසිඳු හේතුවක් නැත.

මේ අනුව නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත තුනෙන් දෙකක් සහිතව ජයග්‍රහණය කරවනවා ද නැතිනම් තුනෙන් දෙක අහිමි කොට පරාජය කරවනවා ද යන තීරක බලය අතැතිව සිටින්නේ ශ්‍රී.ලං.නි.ප යේ මෛත්‍රී පාර්ශවය නියෝජනය කරමින් යහපාලන ආණ්ඩුවේ ඇමතිකම් දරණ 27 දෙනා ය. මෙම කරුණ ඉදිරි කාලයේ දී ලාංකේය දේශපාලන සිතියම වෙත මහත් බලපෑමක් ඇති කරනු ඇත.

ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා මහතා පවසන්නේ මීට ප්‍රථමයෙන් අතුරුදහන් වූවන්ගේ කාර්යාල පනත සම්මත කිරීම ආදී අවස්ථාවලදී කතානායකවරයා දැක්වූ අත්තනෝමතික හැසිරීම නව ව්‍යවස්ථාවක් පාර්ලිමේන්තුවේ සම්මත කිරීමේ අවස්ථාවකදී නැවත වරක් ක්‍රියාත්මක වීමේ අවධානමක් පවතින බවයි. උතුරේ තැන් තැන්වල අවි ආයුධ සහ  ත්‍රස්ත සංවිධානවල කොඩි ආදිය නැවතත් මතුවෙමින් තිබෙන කාල වකවානුවක විග්නේශ්වරන් මහ ඇමතිවරයා විසින් ආරක්ෂක හමුදාවන්ට තොරතුරු ලබා නොදෙන ලෙස උතුරු පළාතේ රාජ්‍ය සේවකයන්ට කර ඇති නියෝගය ජාතික ආරක්ෂාවට බරපතල පහරකි. මෙවන් අවස්ථාවක රට වෙනුවෙන් සෘජු තීරණයක් ගැනීමේ හැකියාව තවමත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් ජනාධිපතිවරයා වෙත පවරා ඇත. එහෙත් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව එම බලය රටේ මධ්‍යම ආණ්ඩුවෙන් නිත්‍යානුකුලව ඉවත් කෙරෙනු ඇත.

ඒකීය යන අදහස දෙන ඉංග්‍රීසි වචනය වන්නේ ‘Unitary’ යන පදයයි. කෙටුම්පත් කර ඇති නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඉංග්‍රීසි පිටපතේ ඒකීය යන්න සඳහන් කිරීම සඳහා ඉංග්‍රීසියෙන් ‘Unitary’ වෙනුවට යොදා ඇත්තේ ඔරුමිත්තනාඩු යන දෙමළ වචනයයි. දැනට පවතින ව්‍යවස්ථාවේ ඒකීය යන සිංහල වචනය වෙනුවට දක්වා ඇති දෙමළ වචනය වන්නේ ඔට්ට්‍රිච්චි යන්නයි. නව කෙටුම්පතේ ඇති ‘ඔරුමිත්තනාඩු’ යන්නෙහි අදහස වන්නේ ඒකීය බව නොව සන්ධීය හෙවත් ෆෙඩරල් යන්නයි. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත් කරුවන් උතුරේ දෙමළ ජනතාව සහ දකුණේ සිංහල ජනතාව එකවර රවටමින් සිටී. දෙමළෙන් සන්ධීය හෙවත් ෆෙඩරල් රාජ්‍යයක් බිහිකරන බව පවසමින් දකුණේ සිංහල ජනතාවට පවසන්නේ ඒකීය රාජ්‍ය දිගටම පවත්වාගෙන යන බවයි. නමුත් ඒකීය යන්න සඳහා ඇති ජාත්‍යන්තරව පිළිගත් ඉංග්‍රීසි වදන වන ‘Unitary’ යන්න කිසි තැනක නොයෙදීමට මොවුන් කටයුතු කර ඇත. මෙම ව්‍යවස්ථාව යම් ලෙසකින් සම්මත වුවහොත් එය බෙදුම්වාදී දෙස් විදෙස් බලවේග අත ඉතා විනාශකාරී අවියක් වනු ඇත. බෙදී ගිය හදවත් එක් කරනු වෙනුවට තව තවත් බෙදීම් සහ අවිශ්වාසයන් ගොඩ නැගීමට මෙම නව ව්‍යවස්ථාව හේතු වේ. තවද ව්‍යවස්ථා සංශෝධන සඳහා පදනම් වූ  ව්‍යවස්ථාව සම්බන්ධයෙන් මහජන අදහස් ලබාගැනීම සඳහා පිහිටුවා තිබූ ලාල් විජේනායක කමිටුවට ද අපක්ෂපාතී ලෙස ක්‍රියා නොකිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබේ.

ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් ද පවසා සිටින්නේ මෙම කෙටුම්පත් යෝජනා හරහා නොවරදවාම ශ්‍රී ලංකාව තවදුරටත් ඒකීය රාජ්‍යක්ව නොපවතිනු ඇති බවයි. ඔවුන් විසින් මේ සම්බන්ධව විමසමින් වගන්ති 12 කින් සමන්විත ප්‍රශ්නාවලියක් රජයට ඉදිරිපත් කරනු ලැබීය. එහෙත් තවමත් එම ප්‍රශ්න සඳහා රජයේ පාර්ශවයෙන් පිළිතුරු ලැබී නැත.

හැකි ඉක්මනින් ව්‍යවස්ථාව සම්මත කිරීම කළ යුතු බවත් පාර්ලිමේන්තුවේ අවසාන කාලය ඊට සුදුසු නොවන බවත් ජයම්පති වික්‍රමරත්න මහතා කියා සිටියේ පසුගිය වසරේ අගෝස්තු මාසයේදී ය. 2000 ව්‍යවස්ථාව පරාජය වුනෙත් එය පාර්ලිමේන්තුවේ අවසන් කාලයේ ඉදිරිපත් වුණු නිසා බව ජයම්පති වික්‍රමරත්න මහතා අත්දැකීමෙන් දනී. මක්නිසාද ඔහු 2000 ව්‍යවස්ථා කෙටුම්පත් කමිටුවේත් සාමාජිකයෙකි. එදා පරාජයට පත් වූ චන්ද්‍රිකාගේ 2000 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පතේ 1 වගන්තියෙන් රාජ්‍ය යන්න අර්ථ දක්වා තිබුණේ  “ශ්‍රී ලංකාව එකක් වන, නිදහස්, ස්වෛරී, ස්වාධීන ජනරජයකි” යනුවෙනි. එදාද අද මෙන්ම ව්‍යස්ථා කෙටුම්පතින් ‘ඒකීය’ රාජ්‍ය සංකල්පය බැහැර කිරීමට ජයම්පති වික්‍රමරත්නලා උනන්දු වී තිබුණි. එදා මෙම කෙටුම්පත පාර්ලිමේන්තුවේදී පරාජයට පත් වුවත් චන්ද්‍රිකාගේ කැබිනට්ටුව විසින් අනුමත කර තිබිණි. මහින්ද රාජපක්ෂ මහතාද එවකට ඒ කැබිනට්ටුවේ අමාත්‍යවරයෙක්ව සිටියේය. අද පොදුජන පෙරමුණේ සභාපති තනතුර දරණ ජී. එල් පීරිස් මහතා යනු එදා චන්ද්‍රිකාගේ ව්‍යවස්ථාව සකස් කිරීමේ වගකීම දැරූ  ඒ ආණ්ඩුවේ අධිකරණ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කටයුතු, ජනවාර්ගික කටයුතු හා ජාතික ඒකාබද්ධතා ඇමතිවරයා ය.

මේ අනුව මහජනයා තේරුම් ගත යුතු කරුණක් තිබේ. රටේ අයිතිකරුවන් වන්නේ මහජනතාව වන අපය. එහි භෞමික අඛණ්ඩතාවය ද ඒකීයභාවය ද ආරක්ෂා කරගැනීම මහජනතාව වන අප සැමගේ පරම වගකීම වන්නේය. එනිසා උපන් බිමේ බෝඩිම්කාරයන් ලෙස නොව ගෞරවණීය උරුමකරුවන් වශයෙන් කටයුතු කළ යුතුය. දේශාපලනඥයින් හට වගකීම් පවරා අත පිසදා ගැනීම නොකළ යුතුය. අවසානයේ පරමාධිපත්‍ය සතු වන්නේ මහජනයාටය. එකී පරමාධිපත්‍ය බලයෙන් නිසි ප්‍රයෝජන ලබා ගැනීමට පෙළ ගැසිය යුතුය.

-පැතුම් රණසිංහ-

සැබෑ පත්තරය 
2018 ජූලි 22

Comments

  1. // ..ව්‍යවස්ථා මෙහෙයුම් කමිටුව දිගු කාලයකින් රැස්වී නැත...//
    ජුලි 25 ප්‍රෙස් රිලීස් එක බලන්න

    https://english.constitutionalassembly.lk/media-centre/press-releases/150-news-update-25th-july-2018

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

නවක වධයට තිත තබමු

ජවිපෙ - ගමනක අග

තුමිදු දොඩම්තැන්න බබෙක් ද ? නැත්නම් අපි බබ්බු ද ?