ජාතික වෙළඳ ප්‍රතිපත්තිය ජාතිකද ?


ශ්‍රී ලංකාව හා සිංගප්පූරුව අතර අත්සන් කෙරුණු නිදහස් වෙළඳ ගිවිසුම පිලිබඳ විවාදයක් ලබා දෙන මෙන් ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා විසින් කතානායක කරූ ජයසූරිය මහතාගෙන් ලිඛිතව ඉල්ලීමක් සිදු කොට ඇත. එම ඉල්ලීම අනුව සිංගප්පූරු නිදහස් වෙළඳ ගිවිසුම පිලිබඳ විවාදය බොහෝ දුරට ජූලි 18 වන දින පැවැත්වෙනු ඇති බවට පාර්ලිමේන්තුවේ සහකාර මහ ලේකම් තුෂාණි රෝහණධීර මහත්මිය ප්‍රකාශ කරයි. විනිවිද නොපෙනෙන සුළු ප්‍රශ්ණකාරී ක්‍රියාදාමයක් ඔස්සේ ඉදිරියට පැමිණි සිංගප්පූරු වෙළඳ ගිවිසුමෙහි සුජාතභාවය සෙවීම වඩා වැදගත් කරුණක් වන්නේ ඉදිරියට පැමිණීමට නියමිත නිදහස් වෙළඳ ගිවිසුම් ගණනාවකට එය ඉතා නරක පූර්වාදර්ශයක් බැවිනි.

කැබිනට්ටුව නොමඟ යැවූ සිංගප්පූරු නිදහස් වෙළඳ ගිවිසුමට  පාර්ලිමේන්තුව තුළදී සැළකිය යුතු ප්‍රතිරෝධයක් ඇති වේ යැයි විශ්වාස කළ නොහැකිය. සිංගප්පූරු නිදහස් වෙළඳ ගිවිසුම කැබිනට්ටුව තුළ අනුමත වූ බව ප්‍රකාශ වුවත් එම ගිවිසුම පිලිබඳ කැබිනට් පත්‍රිකාව කැබිනට්ටුවට ඉදිරපත් කිරීම සිදු වූ 2017 දෙසැම්බර් 22 දා කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය නිවේදනයේ සඳහන් වන්නේ එම කෙටුම්පතට සංශෝධන එක් විය යුතු බව මිස අනුමත වූ බව නොවේ. මෙහිදී ඉදිරිපත් වූ එක් කොන්දේසියක් වන්නේ සිංගප්පූරු වෙළඳ ගිවිසුම ජාතික වෙළඳ ප්‍රතිපත්තියකට අනුව සිදු කළ යුතු බවයි.  සිංගප්පූරු ගිවිසුමේ ද, එට්කා ගිවිසුමේ ද ප්‍රධාන මෙහෙයුම්කරුවා වන සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය, ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී මලික් සමරවික්‍රම මහතා නම් පවසන්නේ අපට දැන් ජාතික වෙළඳ ප්‍රතිපත්තියක් තිබෙන බවයි. ඒ අනුව සිංගප්පූරු නිදහස් වෙළඳ ගිවිසුම යනු ඔය කියන ජාතික වෙළඳ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරවීමේ එක් අවස්ථාවකි. පසුගිය වසරේ ජුනි 18 වන දින ප්‍රකාශයට පත් කළ බව කියන පිටු 30 කින් සමන්විත මේ ජාතික වෙළඳ ප්‍රතිපත්තිය යැයි කියන ලියවිල්ල පිලිබඳ සොයා බැලීමේදී එම ලියවිල්ල බිහි වූ ආකාරය ගැන හමුවන තොරතුරු මහත් විවාදාපන්නය.

මලික් සමරවික්‍රම අමාත්‍යවරයා ප්‍රකාශ කරන පරිදි වෙළඳ ප්‍රතිපත්තිය නම් වන මේ ලියවිල්ලට කැබිනට් අනුමැතිය ලබාගෙන තිබෙන්නේ 2017 අගෝස්තු 01 දා ය. ඒ වන විට මේ ලියවිල්ල නම් කොට තිබුණේ ජාතික වෙළඳ ප්‍රතිපත්තිය ලෙසින් නොවේ, නව වෙළඳ ප්‍රතිපත්තිය වශයෙනි. එම කැබිනට් මණ්ඩල රැස්වීමේ කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවේදී ද මෙම ලියවිල්ල හඳුන්වා දුන්නේ ජාතික වෙළඳ ප්‍රතිපත්තිය ලෙසින් නොව නව වෙළඳ ප්‍රතිපත්තිය වශයෙනි.

ලෝකයේ කිසිම රටක ජාතික වෙළඳ ප්‍රතිපත්තියක අන්තර්ගත නොවන, සාරාංශය නම් කොටසක්ද මේ කියන නව වෙළඳ ප්‍රතිපත්තියේ අන්තර්ගත වේ. එහි ‘’ට’’ වගන්තියෙන් කියවෙන්නේ මේ වෙළඳ ප්‍රතිපත්තිය වත්මන් රජයේ 2015 සහ 2016 යන වර්ෂයන්වල ආර්ථික ප්‍රතිපත්ති ප්‍රකාශවලට අනුකුලව ඉදිරියට ගෙන යන බවයි. යම් ජාතික ප්‍රතිපත්තියක් වේ නම් එය ඒ රටේ පුරවැසියාගේ අනාගතය උදෙසාම විය යුතුය. කලින් කලට විවිධ පක්ෂ ආණ්ඩු බලයට පත්වන අතර එලෙස පත්වන එක් එක් ආණ්ඩුවල ප්‍රතිපත්ති අනුව වංගු ගැසීමට නම් එවන් ජාතික ප්‍රතිපත්තියකින් ඇති පලය කුමක් ද යන්න පිළිබඳව සිතා බැලිය යුතුය.

ඉකුත් ජුනි 22 වන තුරු මෙම මලික් සමරවික්‍රම අමාත්‍යවරයාගේ වෙළඳ ප්‍රතිපත්ති ලියවිල්ලේ ප්‍රධාන කර්තෘවරයා වූයේ ආචාර්ය රවී රත්නායක නම් පුද්ගලයාය. පසුගිය සමයේ දී ජාතික වෙළඳ ප්‍රතිපත්තිය පිළිබඳව යම් ප්‍රතිචාරයක් වෙතොත් එය යොමු කරන ලෙස සඳහන් කර තිබුණේ ද ආචාර්ය රවී රත්නායකගේ නමට ය. තවද බලපෑමට ලක් වූ පාර්ශව විසින් මෙම වෙළඳ ප්‍රතිපත්තිය ප්‍රශ්න කරමින් ජනාධිපතිවරයාට, සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යංශයට යොමු කළ ලිපි සියල්ලකමත් සඳහන් වූයේ ආචාර්ය රවී රත්නායක මෙම වෙළඳ ප්‍රතිපත්තිය නම් වූ ලියවිල්ල සම්බන්ධයෙන් වගකිවයුතු බවයි. එහෙත් හිටිහැටියේම අමාත්‍ය මලික් සමරවික්‍රම පසුගිය ජුනි 22 දින අස්ගිරි පාර්ශවයේ අනුනායක හිමියන්ට සිංගප්පූරු වෙළඳ ගිවිසුමේ සුජාතභාවය ගැන මතක් කරදීම සඳහා යැවූ ලිපියක සඳහන් වන්නේ මෙම වෙළඳ ප්‍රතිපත්තිය නම් ලියවිල්ල සකස් කිරීමට මුල් වූයේ ආචාර්ය සරත් රාජපතිරණ නම් පුද්ගලයෙකු බවයි.

පසුගිය සමයේදී උක්ත වෙළඳ ප්‍රතිපත්ති ලියවිල්ල ගැන සංවාද ඇති වූ සෑම අවස්ථාවකදීම ආචාර්ය රවී රත්නායක නවසීලන්ත පුරවසියෙකුව සිටිමින් ශ්‍රී ලංකාවේ ජාතික වෙළඳ ප්‍රතිපත්තිය සකස් කිරීමට කටයුතු කරනවාය යන කාරණය ඉස්මතු විය. එලසම ඔහු බ්‍රිජින් ද ගැප් නමැති රාජ්‍ය නොවන සංවිධානයේ මහ ලේකම් ලෙස කටයුතු කරමින්ම රජයේ ආර්ථික ලිබරල්කරණ වැඩපිළිවෙලේ නියමුවෙකු ලෙස කටයුතු කිරීම ද විවේචනයට ලක් විය. ආචාර්ය රවී රත්නායක බ්‍රිජින් ද ගැප් නමැති සංවිධානය වෙනුවෙන් සේවය කරමින් ආසියාන් කලාපයේ රටවලට ඔවුන්ගේ අපනයනය වර්ධනය කරගන්නා ආකාරය පිළිබඳව උපදේශන සේවා සපයයි. ජනාධිපතිවරයාද දැනුවත් නොකර ආසියාන් කලාපයේ රටවල් වන ඉන්දුනීසියාව, මැලේසියාව සහ තායිලන්තය වැනි රටවල් සමඟද නිදහස් වෙළඳ ගිවිසුම් අත්සන් කිරීම සඳහා සාකච්ඡා පැවැත්වෙමින් යන බව අනාවරණය වූයේ සිංගප්පූරු වෙළඳ ගිවිසුමට විරුද්ධව රජයේ වෛද්‍ය නිළධාරීන් කැඳවූ වැඩවර්ජනයේ ප්‍රතිපලයක් ලෙස ඔවුන් හා වගකිවයුතු පාර්ශව අතර පසුගිය මැයි මාසයේදී තිබූ සාකච්ඡාවේදීය. මෙය බරපතල ලෙස බැදියාවන් අතර ගැටුම් ඇතිකරන තත්වයකි.

මලික් සමරවික්‍රම අමාත්‍යවරයාගේ වෙළඳ ප්‍රතිපත්තිය නම් ලියවිල්ලෙහි ප්‍රධාන කතෘ ධූරය ආචාර්ය රවී රත්නයකගෙන් ඉවත්ව ආචාර්ය සරත් රාජපතිරණට හිටිහැටියේම මාරු වන්නේ මෙවන් පසුබිමකය. ආචාර්ය සරත් රාජපතිරණ ද සුළුපටු චරිතයක් නොවේ. හම්බන්තොට වරාය වසර 99 ක් සඳහා ඩොලර් බිලියන 1.1 කට චයිනා මර්චන්ට්ස් පෝර්ට් හෝල්ඩින්ග්ස් පෞද්ගලික සමාගමට විකිණීමේදී ඒ වෙනුවෙන් අත්සන් කළ කුප්‍රකට ගිවිසුම නිර්මාණය කළ කණ්ඩායමේ ජනාධිපතිගේ සෘජු නියෝජිතයා ලෙස කටයුතු කළේද මේ ජාතික වෙළඳ ප්‍රතිපත්තිය නිර්මාණය කළා යැයි කියන ආචාර්ය සරත් රාජපතිරණ ය. ඔහු දැනට ජනාධිපති ආර්ථික උපදේශක තනතුරක් ද හොබවයි.

අමාත්‍ය මලික් සමරවික්‍රමගේ වෙළඳ ප්‍රතිපත්තිය නම් ලියවිල්ල සකස් කොට ඇත්තේ වෙළඳ ගිවිසුම්වලින් බලපෑමට ලක්වන සියළුම පාර්ශවවලින් අදහස් ලබා ගැනීමෙන් අනතුරුව බව සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යංශයේ ලේකම් ලෙස කටයුතු කරන චාන්දනී විජේවර්ධන මහත්මිය දිගින් දිගටම ප්‍රකාශ කොට සිටියාය. එම ප්‍රකාශ සම්පූර්ණයෙන් අසත්‍ය බවත්, තමන්ගේ අදහස් සඳහා මේ ලියවිල්ලෙහි කිසිඳු ඉඩක් වෙන්වී නැති බවත්, හැකිනම් තමන් සමඟ වෙළඳ ප්‍රතිපත්තියක් පිළිබඳව විනිවිද පෙනෙන ලෙස පැවැත්වූ සාකච්ඡාවක වාර්තා ඉදිරිපත් කරන ලෙසත් ඉංජිනේරුවරුන්, වෛද්‍යවරුන් ඇතුළු වෘත්තිකයන් ද ව්‍යාපාරිකයන් ද වගකිවයුත්තන්ට අභියෝග කරමින් සිටි.

අමාත්‍ය මලික් සමරවික්‍රමගේ වෙළඳ ප්‍රතිපත්ති ලියවිල්ලෙහි ආරම්භයේදීම එහි සම්පිණ්ඩනයේ සඳහන් වන්නේ ආරක්ෂණවාදී සහ අභ්‍යන්තර දිශානතික ප්‍රතිපත්තිය නිසා මෑත වසරවලදී රටේ ආර්ථික වර්ධනයේ මන්දගාමීත්වයක් පෙන්නුම් කරන බවත් ඒ නිසාවෙන් තිරසාර සංවර්ධනය සඳහා මේ නව වෙළඳ ප්‍රතිපත්තිය ගෙන එන බවත් ය. 1978 විවෘත්ත ආර්ථිකය හඳුන්වාදුන් පසු පාලනය බාරගත් කිසිඳු රජයක් දේශීය ව්‍යවසායකයින් ආරක්ෂා කිරීම සඳහා ආරක්ෂණවාදී පිළිවෙතක් හෝ, දේශීය ව්‍යාපාරිකයන්ට සහ සම්පත්වලට ප්‍රමුඛතාවය ලබා දෙන අභ්‍යන්තර දිශානතික ප්‍රතිපත්තියක් අනුගමනය කර නැත. එසේම ඇමරිකාව, යුරෝපය ආදී බටහිර රටවල් පමණක් නොවේ ආසියාවේ නැගී එමින් සිටින ආර්ථිකයන් වන ඉන්දියාව, චීනය පවා ක්‍රම ක්‍රමයෙන් ආරක්ෂණවාදී ප්‍රතිපත්තියක් කරා මාරු වෙමින් පවතී. මෙම රජය යටතේ පසුගිය 2017 වර්ෂයේදී රටේ ආර්ථික වර්ධන වේගය 3.1% ක් විය. යුධ ගැටුම් ඉතා උග්‍රව පැවති 2008, 2009 වර්ෂවල පවා එතරම් පහත ආර්ථික වර්ධන අංකයක් පෙන්නුම් කර නැත. නිසි ලෙස රටේ ආර්ථිකය නියාමනය කර ගැනීමට නොහැකි වීම නිසා පිළිඹිබු වන සිය නොහැකියාව ආවරණය කරගැනීම සඳහා ආර්ථික ඔස්තාර්වරුන් බව කියන මෙම පිරිස සූදානම් වන්නේ   මූනත් එක්ක තරහා වී නහය කපා ගැනීම වැනි වැඩක් සිදු කිරීමටය.

පෙනෙන්නට තිබෙන පරිදි මෙම රජය සතුව ආර්ථිකය සම්බන්ධයෙන් තිබෙන එකම උපාය මාර්ගය නිදහස් වෙළඳ ගිවිසුම් අත්සන් කිරීම පමණි. රජයේ වෙළඳ ප්‍රතිපත්ති ලියවිල්ලේ 3.2.2 වගන්තියේ ඔවුන් ඒ බව තහවුරු කර පෙන්වන්නේ නූතන ප්‍රවණතා අනුව ශ්‍රී ලංකාවේ සියළු වෙළඳ හවුල්කරුවන් සමඟ නිදහස් වෙළඳ ගිවිසුම් අත්සන් කළ යුතු බව’ සඳහන් කරමිනි. තවද භාණ්ඩ වෙළඳාමෙන් ඔබ්බට ගොස් සේවා,ආයෝජන ඇතුළු වෙනත් ක්ෂේත්‍ර සඳහා ද නීති ලිහිල් කිරීම වැනි රෙගුලාසි ඇතුළත් විවෘත්ත වෙළඳ ප්‍රතිපත්තියක් අනුගමනය කරන බව මෙම වෙළඳ ප්‍රතිපත්ති ලියවිල්ලේ සඳහන් වේ.

වෙළඳ ප්‍රතිපත්තිය නම් ලියවිල්ලේ 97 වන වගන්තියෙන් පවසන්නේ තීරුබදු සහ අනුපූරක බදු ඉවත් කරමින් ආනයන භාණ්ඩවල දේශීය මිල පහළ වැටීමට සලසවන බැවින් පාරිභෝගිකයාට සෘජුවම ප්‍රතිලාභ අත්කර දිය හැකි බවයි. එහෙත් හිතු මනාපයට ආනයන භාණ්ඩවලට තිබෙන තීරුබදු සහ අනුපූරක බදු ඉවත් කළ විට ඉන් බලපෑමට ලක්වන දේශීය ගොවීන් ඇතුළු අනෙකුත් නිෂ්පාදකයින් සම්බන්ධව මෙම ලියවිල්ල සකස් කළ අයට අමතක වී ඇත.

2015 වසරේදී මේ රජය පත් වූ වහාම එතෙක් තිරිඟු පිටි සඳහා පනවා තිබූ බදු ඉවත් කිරීම සිදු කළේය. ඒ අනුව ටොන් ලක්ෂ 8 ක් වූ තිරිඟු පිටි ආනයනය ටොන් ලක්ෂ 17 ක් දක්වා වැඩි විය. එහි ප්‍රතිපලය වූයේ 2017 වසරේ මුල් කාර්තුව වන විට හාල් මෝල් 6000 ක් වැසී ගොස් ලක්ෂයකට අධික පිරිසකට රැකියා අහිමි වීමයි. එම අවස්ථාවේදී ගොවි සංවිධාන හා සහල් කර්මාන්ත කරුවන්ගේ එකමුතුවේ නියෝජිතයින් එවකට මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා හමුවී තිරිඟු පිටි සඳහා වන බද්ධ ඉවත් නොකරන ලෙස ඉල්ලා සිටි විට අමාත්‍යවරයා පවසා තිබුණේ ලෝක වෙළඳපල සමඟ තරඟ කිරීමට නොහැකි නම් ඔබගේ කර්මාන්තශාලා වසා දමන ලෙසය. ඒ අනුව මේ වෙළඳ ප්‍රතිපත්ති ලියවිල්ල හරහා කෙටුම්පත් කර ඇත්තේ මේ රජය පත් වූ දා පටන් අනුගමනය කළ දේශීය නිෂ්පාදකයා අධෛර්යමත් කරන ප්‍රතිපත්තියම ය. සිදු වී ඇත්තේ නව වෙළඳ ප්‍රතිපත්තිය නම් ලියවිල්ලකින් එය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කොට ඊට විධායකයේ අනුමැතිය ද ලබාගත් බව කියමින් පිළිගැනීමක් ආරෝපණය කරවීමයි.

මෙම නව වෙළඳ ප්‍රතිපත්ති ලියවිල්ල හරහා ආනයන මත තීරු බදු ලිහිල් කළ යුතු බව මෙන්ම රුපියල අවප්‍රමාණය කළ යුතු බවද ප්‍රකාශ කර සිටී. මේ හේතුවෙන් රජයට විශාල බදු අදායමක් අහිමි වීමට මෙන්ම රටේ ධනය විශාල වශයෙන් බාහිරට ඇදී යාමටද නියමිතව ඇත. දැනට අත්සන් කොට ඇති සිංගප්පූරු වෙළඳ ගිවිසුම නිසා තමන්ට ඩොලර් බිලියන 900 ක බදු වියදමක් ඉතිරිවන බව දැනටමත් සිංගප්පූරුව නිවේදනය කර තිබේ. සිංගප්පූරුවට ඉතිරි වන බදු වියදම යනු අපට අහිමි වී යන බදු අදායමයි. එවිට දිනෙන් දින ඉහළ යන රාජ්‍ය වියදමේ ඉතිරි බර ප්‍රමාණයත් පාරිභෝගික බදු සහ අදායම් බදු ලෙස අයකරගැනීමට සිදු වන්නේ රටේ මහජනයා වන අපගෙන්ම ය.
එදා වේල හොයාගෙන කෑමේ ප්‍රතිපත්තිය මිස දිගුකාලීනව මහජනයාගේ අදායම් ඉහළ නංවන ක්‍රමවේදයක් මේ කියන වෙළඳ ප්‍රතිපත්තිය තුළ නැත. අපට දෙපයින් නැගී සිටිය හැකි ශක්තිමත් ආර්ථිකයක් බිහිකරගැනීම පිලිබඳ සිහිනයක් වත් මෙම ඊනියා වෙළඳ ප්‍රතිපත්තිය තුළ නැත. මෙහි සඳහන් ආකාරයට අප සැමදාම විදේශයන් මත යැපිය යුතුය. රටක ආර්ථික ස්වාධිපත්‍ය අහිමි වූ තැන රාජ්‍යයේ දේශපාලන ස්වාධිපත්‍ය ද ඉතා ඉක්මනින් දියවී යාම වැළක්විය නොහැකිය.

වෙළඳ ප්‍රතිපත්තිය නම් ලියවිල්ලේ ‘’ඊ’’ වගන්තියෙන් කියවෙන පරිදි සෘජු විදේශ ආයෝජන ආකර්ෂණය කර ගැනීමේ අරමුණින් වෙළදාම සහ සේවාවන් වඩ වඩාත් ලිබරල්කරණය කළ යුතුය. අපේ රටේ මිනිසුන් සිතා සිටින්නේ ලිබරල්කරණය යනු සියළු සළු පිළි උනා දමා නිරුවත් වීම බවය, නැතහොත් සියළු නීති ඉවත දමා වල් බූරු නිදහසක් ලබා දීම බවය. දිවා රෑ දෙකෙහිදීම නව ලිබරල්කරණය ගැන දේශනා කරන මාක්ස්වාදී දේශපාලන ධාරාව ප්‍රකාශ කරන්නේ නිදහස් වෙළඳ ගිවිසුම් හරහා මෙරටට පැමිණීමට නියමිත විදේශ ශ්‍රමිකයන් සමඟ විප්ලවය කිරීමට තමන් සූදානම් බවය. එහෙත් සිදුවන්නේ මේ ජරාජීර්ණ ආර්ථික ක්‍රමය වඩ වඩාත් අර්බුධයට ලක් වීම බව සිහි තබා ගත යුතුය. මේ අවස්ථාවේදී මේ රජය විසින් සිදු කරගෙන යන ආර්ථික ලිබරල්කරණයේ වල් බූරු අන්තයට එරෙහිව හඬක් නොනැගීම අනියමින් නව යටත්විජිතවාදයට සේවය කිරීමක්ම වන්නේය.

මේ වන විට ශ්‍රී ලංකාව ඉන්දියාව සමඟ ද, පකිස්ථානය සමඟ ද නිදහස් වෙළඳ ගිවිසුම්වලට එළඹ ඇත. දකුණු ආසියානු නිදහස් වෙළඳ ගිවිසුම (SAFTA) සඳහා ද අත්සන් තබා ඇත. අවම වශයෙන් මේ කියන ජාතික වෙළඳ ප්‍රතිපත්ති ලියවිල්ල සකස් කිරීමට පෙර එකී ගිවිසුම් සම්බන්ධයෙන් ශක්‍යතා අධ්‍යනයක් වත් සිදු කොට නැත. එම ගිවිසුම්වලින් අපට වූ පාඩුව මෙතෙක් හරිහැටි ගණන් බලාවත් නැත. තව තවත් නිදහස් වෙළඳ ගිවිසුම් වලට එළඹී මේ රට සංවර්ධනය කළ යුතු බවට පුරසාරම් දොඩවන්නේ එහෙව් ආර්ථික විශාරදයින් ය.

2016 වසරේ අග පටන් වෘත්තියවේදීන්, වෙළඳ සංගම් සහ වෘත්තීය සංගම් දිගින් දිගටම රජයෙන් ඉල්ලා සිටියේ නිදහස් වෙළඳ ගිවිසුම් අත්සන් කරනවා නම් එම කටයුත්ත කරන්නන්වාලේ නොකර ජාතික වෙළඳ ප්‍රතිපත්තියක් සකස් කොට, නිසි ශක්‍යතා අධ්‍යනයක් සිදු කොට ඒ අනුව සිදු කරන ලෙසයි. එම අවස්ථාවේදී මලක් සමරවික්‍රම අමාත්‍යවරයා ප්‍රමුඛ ඔහුගේ අමාත්‍යංශයේ ආර්ථික උපදේශකවරුන් පවසා සිටියේ වෘත්තීයවේදීන් සහ ව්‍යවසායකයින් මෙලෙස ජාතික වෙළඳ ප්‍රතිපත්තියක් ඉල්ලා සිටින්නේ නිදහස් වෙළඳ ගිවිසුම් අත්සන් කිරීමේ ක්‍රියාදාමය හිතා මතා පමා කරවීමේ කුහක අදහසින් බවයි.

මේ සියළු කාරණා සැළකිල්ලට ගැනීමේදී පෙනී යන්නේ වත්මන් රජයේ ආර්ථික ලිබරල්කරණය නම් ‘වැල යන අතට’ ජාතික වෙළඳ ප්‍රතිපත්තිය නම් ‘මැස්සක්’ ගසා ඇති බවයි. ලෝක වෙළෙඳ සංවිධානයේ (WTO) නිර්ණායක වලට අනුව එහි සාමාජික රටවල් සිය ජාතික වෙළෙඳ ප්‍රතිපත්ති එම සංවිධානයට ඉදිරිපත් කල යුතුය. නිසි ක්‍රියාදාමය ඔස්සේ වෙළෙඳ ප්‍රතිපත්තියක් සකසනවා වෙනුවට  රජය විසින් කරුනු ලැබුවේ, සිය නිදහස් වෙළඳ ගිවිසුම් තදියම සංසිදුව ගැනීමට වෘත්තිකයන්ගේ හා ජනතාවගේ ඉල්ලීම යටපත් කිරීම සඳහා 'නව වෙළෙඳ ප්‍රතිපත්තිය' නම් ව්‍යාජ  ලියවිල්ලක් රටේ ජාතික ප්‍රතිපත්තිය ලෙස ජනතාවට ඉදිරිපත් කිරීමයි. ලෝක වෙළඳ සංවිධානය විසින් ජාතික වෙළඳ ප්‍රතිපත්තියක බලධාරිත්වය, ස්වාධීනත්වය, සමාජ පැතිකඩවල් නියෝජනය, වගවීම, පාරදෘශ්‍යභාවය, සුදුසුකම් ඇති පුද්ගලයන් සිටීම යන ගුණාංග අත්‍යවශ්‍යයෙන්ම තිබිය යුතු බව සඳහන් කරයි. ඉහත දැක්වූ කරුණු ඔස්සේ අමාත්‍ය මලික් සමරවික්‍රමගේ වෙළඳ ප්‍රතිපත්ති ලියවිල්ල එම ගුණාංග කොතරම් උල්ලංඝනය කර ඇතිදැයි තේරුම් ගත හැක.

2016 දී සම්මත වූ තොරතුරු දැනගැනීමේ පනතින් වෙළඳ ගිවිසුම් සම්බන්ධයෙන් මහජනයාට තොරතුරු ලබාගැනීමට ඇති හැකියාව සිමා කොට ඇත. ඒ අනුව නිදහස් වෙළඳ ගිවිසුම් අප දොරකඩටම පැමිණෙන තුරු අපට ඒවායේ අන්තර්ගතය පිළිබඳව දැන ගැනීමේ හැකියාවක් නැත. පසුගිය කාලය පුරාවටම රටේ ජනතාව බලාපොරොත්තු වූයේ එට්කා ගිවිසුමට මුහුණ දීමටයි. සියළු දෙනා එට්කා දෙස බලා සිටින අතරතුර එට්කා ගෙන ඒමට කලින් මුට්ටිය දමා බැලීමක් වශයෙන් සිංගප්පූරු නිදහස් වෙළඳ ගිවිසුම පැමිණ තිබේ. එට්කා සඳහා රටේ ඇති වී තිබූ ප්‍රතිවිරෝධය යටපත් කර දැමීමට සිංගප්පූරු නිදහස් වෙළඳ ගිවිසුම සමත් විය. සියළු දෙනා සිංගප්පූරු නිදහස් වෙළඳ ගිවිසුම ගැන සංවාද කරමින් සිටින අතරතුර එට්කා සාකච්ඡා අඛණ්ඩව සහ රහසිගතව සිදු වේ. රටේ විදේශ වෙළඳාමට මේ කරන්නා වූ අත්තනෝමතික මැදිහත්වීමෙන් දේශීය ආර්ථිකය මුදවා ගැනීම සඳහා ශක්තිමත්, දූරදර්ශී සහ කාලෝචිත ජාතික වෙළඳ ප්‍රතිපත්තියක් සකස් කර ගත යුතුමය. එහෙත් ඒ අප අපේක්ෂා කරන ජාතික වෙළඳ ප්‍රතිපත්තිය වන්නේ අමාත්‍ය මලික් සමරවික්‍රමගේ ‘නව වෙළඳ ප්‍රතිපත්තිය’ නම් නොවේ.

-පැතුම් රණසිංහ-

සැබෑ පුවත්පත  
2018 ජූලි 08 ඉරිදා

Comments

Popular posts from this blog

නවක වධයට තිත තබමු

ජවිපෙ - ගමනක අග

තුමිදු දොඩම්තැන්න බබෙක් ද ? නැත්නම් අපි බබ්බු ද ?