නවක වධයට තිත තබමු
-පැතුම් රණසිංහ-
නවකවධය යන මාතෘකාව සෑම
වසරකම මෙන් මෙම වසරේද සිය සුපුරුදු කාර්තුව තුළ නැවතත් සමාජ කතිකාවතට පැමිණ තිබේ.
පසුගිය අගෝස්තු 17 දා නයිවල උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනයේදී නවකවධයට එරෙහි වූ නවක ශිෂ්‍යන්
5 දෙනෙකුට ජ්‍යෙෂ්ට සිසුන් විසින් පහර දී තිබිණි.
මීට සම්බන්ධ වූ බව කියන ශිෂ්‍යන් 11 දෙනෙකු පොලිස් අත්අඩංගුවට විය. පසුව පහරකෑමට
ලක් වූ ශිෂ්‍යන් රෝහලෙන් ගෙන්වා ගෙන ඔවුන් ද සම්බන්ධ කරගනිමින් උසස් අධ්‍යාපන අමාත්‍ය
විජේදාස රාජපක්ෂ මහතා පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවේදී ඔහු විසින් රටේ විශ්වවිද්‍යාල පද්ධතිය
තුළ සිදුවන සියළුම නවකවධ ක්‍රියාදාමයන්හි වගකීම පෙරටුගාමී සමාජවාදී පක්ෂය මත සහ අන්තර්
විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය වෙත පැටවීය. වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා ප්‍රකාශ
කර සිටියේ මේ වන විට විශ්වවිද්‍යාල පද්ධතිය තුළ ශිෂ්‍යන් 14 දෙනෙකු නවකවධය නිසා මිය
ගොස් ඇති බවය.
පසුව අමාත්‍යවරයාගේ චෝදනාවට
පිළිතුරු දීම සඳහා පෙරටුගාමී පක්ෂය සහ අන්තරය විසින් මාධ්‍ය හමු කැඳවා තිබිණි. එම මාධ්‍ය
සාකච්ඡාවන් වලදී එම පාර්ශවයන් දෙකම අමාත්‍යවරයාගේ චෝදනා ප්‍රතික්‍ෂේප කළ අතර අමාත්‍යවරයා
සිය පක්ෂයට එල්ල කළ අසත්‍ය චෝදනා සම්බන්ධයෙන් වන්දි ඉල්ලා නීතිමය පියවර ගන්නා බව පෙරටුගාමී
පක්ෂයේ ලේඛම් පුබුදු ජාගොඩ මහතා පැවසීය. අන්තරේ කැඳවුම්කරු වන ළහිරු වීරසේකර මහතා ප්‍රකාශ
කර සිටියේ අමාත්‍යවරයාගේ ප්‍රකාශවල අරමුණ ශිෂ්‍ය ව්‍යාපාරය මර්ධනය කිරීම බවත්,
අමාත්‍යවරයාගේ සංඛ්‍යා ලේඛන නිරවද්‍ය නොවන බවත් ය.
මේ අතර අමාත්‍යවරයා විසින්
තවත් පියවරක් ඉදිරියට යමින් පසුගිය සැප්තැම්බර් 01 දින පොලිස් කොමිසමට ලිපියක් යොමු
කරමින් කියා සිටියේ 2015 දී නවකවධය නිසා මිය ගිය සබරගමු විශ්වවිද්‍යාලයේ අමාලි චතුරිකා
සිසුවියගේ සිද්ධිය සම්බන්ධයෙන් නීතිය නිසි ලෙස ක්‍රියාත්මක වී නැති බවයි. මියගිය සිසුවිය
විසින් තමන් වධයට පත්කළ ජ්‍යෙෂ්ටයන් පිලිබඳ නම් වශයෙන් හෙළිදරව් කොට තිබියදීත් නිසි
පියවරක් නොගැනීම ගැන එවකට සබරගමු විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා සහ හෝමාගම පොලිසියේ
එවකට ස්ථානාධිපතිවරයාට ද ඇමතිවරයා විසින් චෝදනා කර තිබේ. අමාලි චතුරිකා සිසුවියගේ සිද්ධියට
සම්බන්ධව චෝදනා ලැබූවන් වර්තමානයේදී විවාහ වී රැකියාවල් වල නිරතවන බවද ඔවුන්ගේ ලිපිනයන්
සහිතවම ඇමතිවරයා විසින් පොලිස් කොමිසම වෙත
දන්වා තිබේ.
මෙම වසරේදීම මීට ප්‍රථම රුහුණු
සරසවියේදී නවක භික්ෂූන් වහන්සේ නමක් ද, ගාල්ල ලබුදූව උසස් තාක්ෂණ ඩිප්ලෝමා ආයතනයේ සිසුවියන්
පිරිසක්ද බරපතල ලෙස නවකවධයට ගොදුරු බවට පැමිණිලි පොලිසිය වෙත ලැබී ඇත. ඒ සිද්ධීන් සම්බන්ධයෙන්
වගකිවයුත්තන් අත්අඩංගුවට ගැනීමට ද පොලිසිය කටයුතු කොට ඇත.
නවකවධයේ වගකීම භාර ගැනීමට කිසිඳු
පාර්ශවයක් සූදානම් නැතත් සෑම වසරකම ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල සහ උසස් අධ්‍යාපන ආයතන
පද්ධතිය තුළට නවකයන් ඇතුළත් වීමේදී සංවිධානාත්මක ලෙස නවකවධය ක්‍රියාත්මක වෙයි. එහි
අඩු වැඩි වීම් ඇතත් අවසාන විග්‍රහයේදී ඒ සියල්ලම ඔස්සේ සිදුවනුයේ තවකෙකුව පිඩාවට පත්
කිරීමකි.
ලියුම්කරුට ඇති පුද්ගලික අත්දැකීම්
අනුව ප්‍රථම වසරේදී පිඩාවට පත්වන පීඩිත ශිෂ්‍යන් බොහෝ දෙනෙකු ඉන් පසුව තමන් ජ්‍යෙෂ්ටත්වයට
පැමිණි කළ පීඩකයන් බවට පත් වෙති. ඉන් අනතුරුව ඔවුන් උත්සාහ කරන්නේ තමන් අත් විඳි පීඩාවන්
සියල්ල කිනම් ප්‍රතිරෝධයන් මැද්දේ උවත් නවකයන්ටද ලබා දීමටය. මෙය ඊනියා උප සංස්කෘතිය
පැවරීම, නවක නමනීකරණය, වැනි වදන්වලින් පාරිශුද්ධත්වයට පත් කිරීමට ද පීඩකයන් යුහුසුළු
වෙති.
මිනිසා තුළ සහජයෙන් පවතින සිය
බලය අනෙකා වෙත පැතිරවීමේ නොනිත් ආශාව නවකවධයෙහි වර්තමාන පදනම බව සිතිය හැකිය. ශ්‍රී
ලංකාව තුළ මුල් කාලීනව නවකවධය දැකගත හැකි වූයේ මිලිටරි ව්‍යුහය තුළ සහ නාගරික කේන්ද්‍රගත
වූ අධ්‍යාපන ආයතන තුළ පමණි. පසුකාලීනව විශේෂයෙන් විශ්වවිද්‍යාල පද්ධතිය පුරා නවකවධය
පැතිරී ගියේය.
රූපා රත්නශීලී, චමින්ද පුංචිහේවා,
සෙල්වවිනයාගර් වරප්‍රකාශ්, සමන්ත වනිගතුංග, කැලුම් තුෂාර විජේතුංග ආදී නවකවධය නිසා
මියගිය ශිෂ්‍ය ලැයිස්තුවට දැන්වත් නැවතීමේ තිත තැබිය යුතුය. වසරකට සැළකිය යුතු පිරිසක්
නවකවධයට මුහුණ දිය නොහැකිව සිය සරසවි පාඨමාලා හැරයති. මෙම තත්වයට ශිෂ්‍යන්, ශිෂ්‍ය
දේශපාලනයට බලපෑම කරන දේශපාලන පක්ෂ, අධ්‍යාපන බලධාරීන් ඇතුළු සියළු පාර්ශව අඩු වැඩි
වශයෙන් වගකිව යුතුය. විජේදාස රාජපක්ෂ උසස් අධ්‍යාපන අමාත්‍යවරයා ප්‍රකාශ කරන අයුරින්
නවකවධය පිලිබඳ සියළු චෝදනා අන්තරය සහ පෙරටුගාමී පක්ෂය වෙත පවරා අත පිස දමාගැනීමට කිසිවෙකුට
නොහැක.
නවකවධයෙහි යෙදෙන්නේ පිටිසර
ගම්බද ප්‍රදේශයන්ගෙන් පැමිණි සිසුන් සහ වාමාශික දේශපාලන පක්ෂවල සාමාජිකයන් පමණක්ය යන්න
අප සමාජය තුළ මුල්බැසගෙන ඇති වැරදි මතයකි. එයින් අදහස් වන්නේ පිටිසරින් පැමිණි සිසුන්
සහ වාමාශික පක්ෂවලට වැඩකරන සිසුන් කිසිවෙකු නවකවධයෙහි නොදෙන්නේය යන්න නොවේ.
මතභේදයට තුඩු දී ඇති සබරගමුව සරසවියේ අමාලි චතුරිකා සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලැබ
සිටින්නේ අගනුවර ජනප්‍රිය පාසල්වල අධ්‍යාපනය හැදෑරූ අගනුවරට ආසන්න පදිංචියක් සහිත අයයි.
ශ්‍රී ලංකාවේ වාමාශික ශිෂ්‍ය දේශපාලනය අතීතයේ සිටම නවකවධය සම්බන්ධයෙන් චෝදනා ලබන ප්‍රධාන
පාර්ශවකරුවෙකි. එහෙත් වර්තමානය වන විට විශ්වවිද්‍යාල තුළ ක්‍රියාත්මක වන ජවිපෙ සහ පෙසපෙ
මූලික සියළු ශිෂ්‍ය සංවිධාන නවකවධයට එරෙහි බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර සිටී.
සියළු පාර්ශවයන් විසින් මේ
අයුරින් පිළිකුල් කරන නවකවධය එසේනම් තවදුරත් ක්‍රියාත්මකව පවතින්නේ කෙසේද යන ප්‍රයෝගික
ප්‍රශ්නයට අප පිළිතුරු සෙවිය යුතුය. 1998 අංක 20 දරණ අධ්‍යාපන ආයතන වල නවක වදය සහ වෙනත්
ස්වරූපයේ සාහසික ක්‍රියා තහනම් කිරීමේ පනත නවකවධයට එරෙහිව හඳුන්වා දී තිබේ. එම පනතට
අනුව නවකවධය සම්බන්ධයෙන් වැරදිකරුවෙකු වුවහොත් වසර 10 ක් දක්වා සිර දඬුවම් ලබාදිය හැකිය.
පැය 24 පුරාම නවකවධය සම්බන්ධයෙන් පැමිණිලි කළ හැකි අයුරින් දුරකථන අංකයක්, වෙබ් පිටුවක්
මෙන්ම, ජංගම දුරකථන සඳහා වෙනමම මෘදුකාංගයක් ද හඳුන්වා දී තිබේ.
එහෙත් එවැනි දරදඬු නීතිමය මුහුණුවරකින්
පමණක් මෙම නවකවධය නැවැත්විය හැකි යැයි සිතීම අනුවණ ක්‍රියාවකි. දසක ගණනක පටන් ඊනියා
සංස්කෘතියක් ලෙසින් හඳුන්වාදෙමින් ප්‍රවර්ධනය කරන ලද නවකවධය සම්බන්ධයෙන් ආකල්පමය වෙනසක්
තරුණ සිසුන් තුළ ඇති කළ යුතුය. නවකවධයේදී වධයට පත් වෙන පීඩිතයා වීම වත්, වධ දෙන පීඩකයා
වීම වත් විනෝදජනක අවස්ථාවක් නොවන බව ශිෂ්‍යන්ට පසක් කළ යුතුය.
මෙවැනි ආකල්පමය වෙනසක් සඳහා
පසුගිය සමයේදී ක්‍රියාවට නැගුණු නායකත්ව පුහුණුව වැනි පියවරයන් සාධනීය කාර්යභාරයක්
ඉටු කරනු ඇත. සරසවියට පැමිණීමට පළමුව නවකයන් එකිනෙකා අතර ඇතිවන මිත්‍රත්වයන්, දැන හැඳුනුම්කම්
මගින් සරසවිය තුළට පිවිසුණු පසුවත් ඔවුනොවුන්ගේ ආරක්ෂාව සහතික කරනු ඇත. එහෙත් එය අධ්‍යාපනය
මිලිටරිකරණයක් ලෙස හඳුන්වා දෙමින් වහාම නැවත්වීමට වත්මන් උසස් අධ්‍යාපන අමාත්‍යවරයා
ප්‍රමුඛ පිරිස් බලයට පත් වූ වහාම කටයුතු කළේය.
නවකවධය සාධාරණීකරණය කරන පිරිස්වල
අදහස් වන්නේ නවකවධය මගින් එකිනෙකා අතර ඇති සහෝදරත්වය වැඩි දියුණු කරන බවයි. එහෙත් බාහිර
බලපෑම් ඔස්සේ මවාපෙන්වන ව්‍යාජ සහෝදරත්වය ඉතා කෙටි කලකින් මැකී යන අන්දමත්, මිනිසා
තුළ ස්භාවයෙන්ම ක්‍රියාත්මක වන ආත්මාර්ථය මතුවන අන්දමත් විශ්විද්‍යාල අධ්‍යාපනය ලැබූ
ඕනෑම අයෙකු අත්දැක ඇති සත්‍යයකි. එසේනම් නවකවධයෙහි මුඛ්‍ය පරමාර්ථයන් පවා ප්‍රායෝගික
නොවන පසුබිමක නවකවධය තවදුරටත් නව යුගය වලංගු නොවන සාධකයකි. ශිෂ්‍ය සංගම් පවා මේ පිළිබඳව
ඉතා සබුද්ධිකව උද්ද්‍යෝගීමත්ව කටයුතු කිරීම වටී. නවක සිසුන් සිය විරෝධතා ව්‍යාපාර සඳහා
බලෙන් සම්බන්ධ කර ගැනීම දැන්වත් නැවැත්විය යුතුය. මක්නිසාද නවකවධය නැවැත්වීමේ මුවාවෙන්
ඒ හා සමගම ආණ්ඩුවේ මර්ධන යාන්ත්‍රණය ද ක්‍රියාකාරී විය හැකි බැවිනි. එමගින් රටේ සමස්ත
තරුණ පරපුරටම සිදු වන්නේ අයහපතකි.

Comments
Post a Comment