මන්නාරම සමූහ මිනී වල හාරන්නේ සත්‍ය වළලන්න ද ?



-පැතුම් රණසිංහ-
සැබෑ 
2018 සැප්තැම්බර් 02 කලාපය


නව ඉදිකිරීමක් සඳහා මන්නාරම උසාවිය අසළ පිහිටි පැරණි සතොස ගොඩනැගිල්ල කඩා එහි පස් ඉවත් කිරීමේදී මිනිස් ඇටසැකිළි කිහිපයක් මතු වූයේ පසුගිය මාර්තු මාසයේ 26 වනදා ය. මන්නාරම පොලිසිය විසින් අදාළ කාරණය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් අධිකරණ වෙත කරුණු ඉදිරිපත් කිරීමෙන් පසුව එම ස්ථානය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම ආරම්භ කරන ලදි. මන්නාරම මහේස්ත්‍රාත්වරයාගේ නියෝගය පරිදි මෙම ස්ථානයේ කැණීම් කටයුතු භාර වූයේ වෝහාරික පුරාවිද්‍යාව පිලිබඳ විශේෂඥයෙකු වන මහාචාර්ය රාජ් සෝමදේව මහතා වෙතය. කැණීම් කටයුතු ආරම්භ වූ ඉකුත් මැයි මස 28 වන දින සිට මෙම ප්‍රවෘත්තිය දේශීය මාධ්‍ය ආයතන වෙත එතරම් නොවැදගත් කරුණක් වුවත් මෙරට සිට ක්‍රියාත්මක වන විදේශීය මාධ්‍ය ඒජන්තයින් අසුරු සැණකින් මෙම ප්‍රවෘත්තිය ලොව පුරා ප්‍රචාරය කළේ අසත්‍ය චිත්‍රයක් ලොව හමුවේ මවා පාමිනි.

මෙම සතියේ මුල වන විට ඉහත කී ස්ථානයෙන් අවම වශයෙන් මිනිසුන් 90 දෙනෙකුට වඩා වැඩි ගණනකගේ අවශේෂ අස්ථි කොටස් හමුවී තිබේ. ඒ අතර දරුවන් 6 දෙනෙකුගේ පමණ අස්ථි කොටස්ද හමුවී තිබෙන බව සඳහන් ය. බී.බී.සී ප්‍රවෘත්ති සේවයේ විශේෂ කණ්ඩායමක් පසුගියදා මෙම ස්ථානය ආවරණය කිරීම සඳහා පැමිණ තිබූ අතර ඔවුන් අමතමින් කැණීම් කටයුතු භාරව කටයුතු කරන මහාචාර්ය රාජ් සෝමදේව මහතා ප්‍රකාශ කර සිටියේ කැණීම් සිදුවන සම්පූර්ණ භූමියේ එක් කොටසක විධිමත් සුසාන භූමියක් පිහිටා ඇති බවත් තවත් කොටසක අවිධිමත් ලෙස වල දැමූ මිනිස් ඇටසැකිළි තිබෙන බවත් ය. මෙහිදී හමු වී තිබෙන කිසිඳු සිරුරක ඇඳුම් දකින්නට ලැබී නොමැත. එසේම ලබාගත් ඡායාරූපවල පැහැදිලිව පෙනෙන්නට තිබෙන පරිදි තියුණු ආයුධ වලින් කපා කොටා වෙන්කර දැමූ අවයව කොටස් දැකගත හැකිය.

මන්නාරම මහ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය සමින්ද රාජපක්ෂ මහතා මෙම විමර්ෂණයේ ප්‍රධාන විමර්ශන නිලධාරියා ලෙස කටයුතු කරයි.  විමර්ෂණය පිළිබඳව විශේෂඥ අධිකරණ වෛද්‍යවරයා විසින් වාර්තාවක් සකසනු ලැබීමට නියමිතය. මෙම ස්ථානයේ වැළලී ගිය මිනිසුන් මිය ගියේ කොයි ආකාරයෙන්ද යන්න සහ එහි යම් සාපරාධී අපරාධයක් සිදුවී ඇතිද යන්න පිලිබදව අවසාන නිගමනයකට එළබිය හැකි වන්නේ එවන් සාධාරණ පරීක්ෂණ වාර්තාවකින් අනතුරුව පමණි.

කෙසේ නමුත් මන්නාරම පැරණි සතොස ගොඩනැගිල්ල පිහිටි භූමියෙන් මතු වූ සමූහ මිනී වල ශ්‍රී ලංකා රජයේ හමුදාවන් විසින් සිදු කළ යුධ අපරාධවල ප්‍රතිපලයක් ලෙස හුවා දැක්වීමට විවිධ කුමන්ත්‍රණකාරී පාර්ශව සෘජුව සහ වක්‍රව ක්‍රියා කරමින් සිටින බව පෙනෙන්නට තිබේ. පසුගිය ජූලි මස අගදී අතුරුදහන් වූවන් පිලිබඳ සොයා බැලීමේ කමිටුවේ ලේකම් සුන්දරම් මහේන්ද්‍රන් කොළඹදී මාධ්‍යවේදීන් හමුවේ ප්‍රකාශ කළේ සැළසුම්සහගතව පැහැර ගෙන ගොස් වධහිංසා පමුණුවා ඝාතනය කරන ලද්දවුන් සතොස මිනී වලේ වළදමා ඇති බවයි.

විවාදාපන්න ලෙස සම්මත කළ අතුරුදහන් වූවන් පිලිබඳ කාර්යාල පනත ඔස්සේ ස්ථාපනය කරන ලද අතුරුදහන් වූවන් පිලිබඳ කාර්යාලය විසින් දැනට සමූහ මිනී වල කැණීමේ කටයුතු අධීක්ෂණය කිරීමෙන් පමණක් නොනැවතී ඊට මූල්‍ය ආධාර සැපයීමද සිදු කරයි.

මේ අතරම මන්නාරම රදගුරු එම්මානුවෙල් ෆර්නැන්ඩෝ සමඟ මෙම මන්නාරම සතොස භූමියේ සමූහ මිනී වල නිරීක්ෂණය කිරීම සඳහා එක් වූ මන්නාරම කතෝලික දියෝකිසියේ දේවගැති වික්ටර් සොයිසා විසින් විදේශීය මාධ්‍ය වෙත බරපතල ප්‍රකාශයක් නිකුත් කර තිබේ. වික්ටර් සොයිසා දේවගැතිතුමා ප්‍රකාශ කර සිටින්නේ ‘යුධ සමයේදී බෝට්ටු මාර්ගයෙන් ඉන්දියාවට පළා ගිය දෙමළ ජාතිකයන් ගණනාවක් අත්අඩංගුවට ගෙන ඇති බවත් ඉන් පසුව ඔවුන් අතුරුදහන් වී ඇති බවත්’ ය. එසේම එල්.ටී.ටී.ඊ මුදානොගත් ප්‍රදේශවල සිට රජයේ පාලන ප්‍රදේශයන්වලට පැමිණීමේදී ද පුද්ගලයන් විශාල ප්‍රමාණයක් අතුරුදහන් වී ඇති බව ඔහු ප්‍රකාශ කරයි. ඉහත සඳහන් කළ දේවගැතිවරයා මෙම ප්‍රකාශ සිදුකරන්නේ මන්නාරම සමූහ මිනී වල සමඟ සම්බන්ධ කරමිනි. මෙලෙස ඔවුන් විසින් වක්‍රව සිදු කරන චෝදනා වලට නිසි පිළිතුරු ලබා නොදීම නිසා පදනම් විරහිත චෝදනාවන් සඳහා තව තවත් නිදහස් අවකාශය නිර්මාණය කර දෙනු ඇත.

අද සිය දේශපාලන න්‍යායපත්‍රයන් වෙනුවෙන් කුමන්ත්‍රණකාරී ලෙස කටයුතු කරන පිරිස් විසින් වසන් කරන අතීතයක් මන්නාරමට තිබේ. බෙදුම්වාදී යුද්ධයට පෙර මන්නාරමේ විසූ මුස්ලිම් ජනතාව එල්.ටී.ටී.ඊ සංවිධානය විසින් මන්නාරමෙන් පිටමන් කළේ දරුණු ලෙස බියවද්දවිමෙන් අනතුරුවය. වසර 25 කට පමණ පෙර බෙදුම්වාදී භිෂණය නිසා සිය ධීවර බිම් අතහැර පළා ගිය මුස්ලිම් ජනතාව නැවත මන්නාරම වෙත පැමිණුනේ 2009 යුද්ධය නිම වීමෙන් පසුවය. මුස්ලිම් ජනතාව පළා ගිය සමයේදී එම ධීවර ගම්මානවල පදිංචිව සිට ඇත්තේ දමිළ ධීවරයන් ය. එල්.ටී.ටී.ඊ සංවිධානයේ මන්නාරම බලය කොතෙක් දැයි කියනවානම් දමිළ ධීවරයන්ට ද සිය ජීවිකාව කරගැනීමට හැකි වී තිබෙන්නේ සංවිධානයට කප්පම් ගෙවීමෙන් අනතුරුවය. 2012 වසරේ මන්නාරමේ අරිප්පු ප්‍රදේශයේ තම පැරණි බිම් වෙත පැමිණි මුස්ලිම් ජනයා සහ දෙමළ ජනයා අතර ඇතිවීමට ගිය කලබලකාරී තත්වය මෙම පසුබිම ගැන සාක්ෂි සපයයි.

90 දශකයේ මැද භාගයේදී ආරක්ෂක හමුදා මගින් මන්නාරම මුදා ගැනීම සඳහා අදියර තුනකින් සිදු කළ රණගොස ක්‍රියාන්විතයෙන් පසුව වුවද මන්නාරමේ නිසි ලෙස ස්ථානගත වීමට ආරක්ෂක හමුදාවන්ට හැකියාවක් ලැබී නැත. අවසන් වන්නි මානුෂීය මෙහෙයුමේදී ද එල්.ටී.ටී.ය මන්නාරමේදී ඉතා ශක්තිමත් පෙරමුණක් ලෙස ප්‍රහාර එල්ල කරන ලදි. ඔවුන්ගේ වධකාගාර කිහිපයක්ද මන්නාරම අවට පිහිටා තිබූ බව කියවේ.

බෙදුම්වාදයේ සන්නද්ධ මුහුණුවර පරාජය කොට වසර 9 ක් ඉක්ම ගියත් එහි දේශපාලන මුහුණුවර වෙනදාටත් වඩා ශක්තිමත් සහ උපක්‍රමශීලී ලෙස ක්‍රියාත්මක වන වකවානුවක මෙම මන්නාරම සමූහ මිනී වල පිලිබඳ මාතෘකාවට වැඩි වටිනාකමක් ලැබීමට නියමිතය. තමන්ගේ සන්නද්ධ හමුදාවන් වෙත එල්ල වන පදනම් විරහිත චෝදනා හිස් මුදුනින් පිළිගන්නා දේශපාලන බල අධිකාරියක් රාජ්‍ය බලය හොබවන විටෙක මෙවන් චෝදනා වලට පිළිතුරු ලබාදීමට වගකීමක් ඇති පාර්ශව නිහඬ වී ඇති බවක් පෙනී යයි.

Comments

Popular posts from this blog

නවක වධයට තිත තබමු

ජවිපෙ - ගමනක අග

තුමිදු දොඩම්තැන්න බබෙක් ද ? නැත්නම් අපි බබ්බු ද ?