පාර්ලිමේන්තුව ව්‍යවස්ථා කුමන්ත්‍රණයක් අභියස ?



-පැතුම් රණසිංහ-
සැබෑ - 2018 සැප්තැම්බර් 16 


පසුගිය සැප්තැම්බර් 05 වනදා ජවිපෙ විසින් 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. ඒ විජිත හේරත් මන්ත්‍රීවරයාගේ පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් වශයෙනි. ජනබලය කොළඹට නම් ඒකාබද්ධ විපක්ෂය සංවිධානය කළ ආණ්ඩු විරෝධී රැලියද පැවැත්වුණේ එදිනමය. එබැවින් එදින 20 ට එරෙහිව දිගින් දිගටම කරුණු ඉදිරිපත් කළ ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු කිසිවෙකු සභාවේ නොසිටියේ ය. එසේම 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම ගැන ජනමාධ්‍ය අවධානය යොමු වූයේද මද වශයෙනි.

ජවිපෙ විසින් යෝජනා කරන 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව මේ වන විට පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල යන පාර්ශවයන් ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු ගොනු කර ඇත. නීතිඥ කනිෂ්ක විතාරණ මහතාගේ මතය වන්නේ මෙම යෝජනා හරහා දැනට පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 04 වන වගන්තිය මගින් ජනතාවට ජනාධිපතිවරයෙකු පත්කරගැනීම සඳහා පවරා ඇති පරමාධිපත්‍ය බලය  ජනතාවගෙන් ඉවත්වන නිසා පාර්ලිමේන්තුවේ 2/3 ක බහුතරය හෝ ජනමත විචාරණයක් 20 වන ව්‍යවස්ථා සංශෝධනය සම්මත කිරීම සඳහා අනිවාර්ය වනු ඇති බවයි. කෙසේ වෙතත් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් 2/3 බහුතරය හෝ ජනමත විචාරණයක් ඉල්ලා සිටින වගන්ති දෙවන වර කියවීමේදී හෝ කාරක සභා අවස්ථාවකදී ඉවත් කරමින් හෝ සංශෝධනය කරමින් උක්ත 20 වන ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරවා ගනිවිදෝයි සැකයක් ශිෂ්ට සම්පන්න ජනතාව තුළ තිබේ. 2017 අගෝස්තු 25 වන දා පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් වූ පනත් කෙටුම්පත වැඩි ඡන්දයෙන් සම්මත කර ගත්තේද ජවිපෙ සහ එජාපය මූලික වීමෙන් අවසාන කාරක සභා අවස්ථාවේදී සංශෝධන ඉදිරිපත් කිරීමෙන් පසුවය.

පෙර මෙන් නොව දැන් දැන් අලුතින් ඉදිරිපත් කෙරෙන අනපනත් හි එකම කාරණයට අදාල වගන්ති තිබෙන්නේ තැනින් තැනය. එමනිසා ඒවායේ වගන්ති අධ්‍යනය කළ යුත්තේ ඉතාමත් ප්‍රවේසම් සහගත ලෙසය. දැනට පවතින ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයා විධායකයේ මෙන්ම ආණ්ඩුවේ ද ප්‍රධානියා ය. යෝජිත විසිවන සංශෝධනය මගින් ජනාධිපතිවරයා ආණ්ඩුවේ ප්‍රධානියා ය යන්න ඉවත් කර ඇත. ඒ අනුව ආණ්ඩුවේ බලය ක්‍රියාත්මක වන්නේ කැබිනට් මණ්ඩලය හරහා ය. කැබිනට්ටුවේ ප්‍රධානියා ලෙස අගමැතිවරයාව පත් කරනු ලබයි. අගමැතිවරයා යනු යම් පක්ෂයක සාමාජිකයන් අතුරින් පත්වන කෙනෙකි. ඇතැම් විටෙක ඔහු ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු වීමට ද පුළුවන. මේ අනුව ජනාධිපති ධූරයේ විධායක බලතල ඉන් මතුවට නාමිකව පමණක් ක්‍රියාත්මක වනු ඇත. උදාහරණයක් ලෙස  ජනාධිපතිවරයා විධායකයේ ප්‍රධානියා ය යන්න විසිවන සංශෝධනය මගින් ඉවත් කර නැති නිසා ජනාධිපතිවරයා නාමිකව සන්නද්ධ හමුදාවන්හි සේනාධිනායකයා වුවද ආරක්ෂක ඇමතිවරයා පත්කිරීමේ බලය හිමිවන්නේ ආණ්ඩුවේ ප්‍රධානියා වන අගමැතිවරයාට ය.

ව්‍යවස්ථාව පිලිබඳ හසල දැනුමක් ඇති නීතිඥ කනිෂ්ක විතාරණ මහතා පවසන අන්දමට 20 වන ව්‍යවස්ථා සංශෝධනයේ අවසාන ප්‍රතිපලය වන්නේ දැනට සිටින විධායක ජනාධිපති බලතලද ඉක්මවා යන අත්තනෝමතික බලතල සහිත විධායක අගමැතිවරයෙකු බිහිවීමයි. ඒ කෙසේද යත් 20 වන සංශෝධනය මගින් මන්ත්‍රීවරයෙකුට සිය පක්ෂයේ විනය ක්‍රියාමාර්ගවලට එරෙහිව අධිකරණයේ පිහිට පැතීමේ අයිතිය පවා අහිමි කර තිබේ. උක්ත ව්‍යවස්ථා කෙටුම්පතේ වචනවලින්ම දක්වන්නේ නම් “පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන්නා වූ යම් සාමාජිකයෙකුට එරෙහිව දේශපාලන පක්ෂයක් විසින් ගන්නා ලද හෝ ගනු ලැබීමට යෝජිත යම් විනය ක්‍රියාමාර්ගයකට අදාළ කරුණක් විභාගකර විනිශ්චය කිරීම සඳහා කිසිඳු අධිකරණයකට අධිකරණ බලයක් නොතිබිය යුතු අතර ඒ අනුව එම ක්‍රියාව වළක්වමින් රිට් ආඥාවක්, ඉන්ජන්ක්ෂන් තහනමක්, වාරණ නියෝගයක් හෝ වෙනත් යම් සහනයක් ප්‍රධානය කිරීමට කිසිඳු අධිකරණයකට බලය නොතිබිය යුතු ය.”

එදා ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කරන මොහොතේදී සිය පක්ෂයේ අභ්‍යන්තරය තුළ උන් ජාතිමාමක කොටස්වලින් ඊට ප්‍රතිරෝධය එල්ල වෙද්දී ජේ.ආර් ජයවර්ධන ජනාධිපතිවරයා සිදු කළේ සිය පක්ෂයේ සියලුම මන්ත්‍රීවරුන්ගෙන් දාතම නොයෙදූ ඉල්ලා අස්වීමේ ලිපි ලබාගැනීමයි. 20 වන ව්‍යවස්ථා සංශෝධනය හරහා ජනතා විමුක්ති පෙරමුණ මේ යෝජනා කරන්නේද ජේ.ආර් ජයවර්ධන පන්නයට මන්ත්‍රීවරුන්ගේ අයිතිවාසිකම් කප්පාදු කිරීමටය. ඒ අනුව මහජන නියෝජිතයන් වන මන්ත්‍රීවරුන් හට සිය ඡන්ද දායකයාට වගකියනවා වෙනුවට නියත වශයෙන්ම සිය පක්ෂයේ නායකත්වය හොබවන පුද්ගලයන්ගේ බසට කොන්දේසි විරහිතව අවනත වීමට සිදුවනු ඇත.  

අද 20 වෙනි සංශෝධනය පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස ගෙන එන ජනතා විමුක්ති පෙරමුණ 2015 පටන් යහපාලන ආණ්ඩුවේ නව ව්‍යවස්ථාවක් සකස් කිරීමේ වැඩපිළිවෙළේ ඉතා උද්‍යෝගිමත් පාර්ශවකරුවෙකු වී සිටියේය. ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා පසුගියදා ප්‍රකාශ කර සිටියේ එම නව ව්‍යවස්ථාව සකස් කිරීමේ වැඩපිළිවෙල අතරමග සිර වූයේ විධායක ජනාධිපති ධූරය අහෝසි කරන ආකාරය පිළිබඳව පාර්ශවකරුවන්ගේ එකඟතාවයක් නොමැති වූ නිසා බවය. එහිදී එජාප පාර්ශවයෙන් රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාගේ යෝජනාව වී ඇත්තේ විධායක ජනාධිපති ධූරය අහෝසි කොට විධායක අගමැති ධූරයක් ස්ථාපනය කිරීමයි. අලුතෙන්ම ව්‍යවස්ථාවක් ගෙන ඒමට තරම් ශක්තියක් නැති නිසා ඊනියා 20 වන සංශෝධනය හරහා බළලුන් ලවා කොස් ඇට බෑවීමට යහපාලනය සූදානම වන බව මේ අනුව පෙනී යයි. මෙම කරුණ වඩාත් සනාථ කරමින් පසුගිය සැප්තැම්බර් 09 වන ඉරිදා 20 වන ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව අගලවත්තේදී පැවැත්වූ සම්මන්ත්‍රණයකදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේ මෙහෙයුම් කමිටුවේ සාමාජික එජාප ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය ජයම්පති වික්‍රමරත්න ප්‍රකාශ කර සිටියේ “අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන ඒම අගනේ වුව ද ඒ අපහසුනම් 20 උනත් නරකම නැතැයි යනුවෙනි. ජවිපෙ සංවිධාන ශක්තියෙන් 20 වන සංශෝධනය පිලිබඳ ජනතා දැනුවත් කිරීම් මාලාවක් දිවයින පුරා පැවැත්වෙමින් යන අතර අගලවත්තේදී මීට ජයම්පති වික්‍රමරත්න සමඟ සුමන්තිරන්, මුඛර්ජි රහුමාන් ඇතුළු පිරිසක් සහභාගී වී තිබේ.

20 වන සංශෝධනය තුළ ජවිපෙ ඉදිරිපත් කරන අන්තර්කාලීන යෝජනාවලට අනුව නව සංශෝධනය බලපවත්වන්නේ 2020 ජනවාරි 09 වනදා පටන්ය. එමෙන්ම ඊට අනුව දැනට පවතින පාර්ලිමේන්තුව 2020 පෙබරවාරි 08 දින දක්වා ක්‍රියාත්මක වෙයි. එහිදී 2020 ජනවාරි 09 දින පටන් නව පාර්ලිමේන්තුවක් පත්වන තුරු අගමැතිවරයා අඛණ්ඩව බලය දරන අතර රහසිගත පාර්ලිමේන්තු ඡන්ද විමසීමක් මගින් ඔහුට රිසි ඕනෑම කෙනෙකු යෝජිත ජනාධිපති ධූරයට පත්කර ගැනීමේ හැකියාව ද ලැබේ. වෙනත් වචනවලින් සරලව ප්‍රකාශ කරන්නේ නම් මෙහිදී සිදුවන්නේ 2020 ජනවාරි 09 දින පටන් වර්තමාන අග්‍රාමාත්‍යවරයාගේ අතට ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ සියලු බලතල පත්වන බවයි. එය එසේ සිදුවන්නේ එවැනි බලයක් දැරීම සඳහා වර්තමාන අග්‍රාමාත්‍යවරයාට කිසිඳු ජනවරමක් නැති පසුබිමක බවද සිහිපත් කරගත යුතුය. මේ අතර තමන් 2030 වනතුරු පක්ෂ නායකත්වය දැරීමට සූදානම් බවට පසුගියදා පැවැත්වූ එජාප 72 වන සංවත්සර උළෙලේදී රනිල් වික්‍රමසිංහ මහතා ඉඟි කර තිබුණි.

ජනතා ඡන්දයෙන් පත්වන ජනාධිපතිවරයෙකුට වඩා පාර්ලිමේන්තුවේ සරල බහුතරය රහසිගත ඡන්ද විමසීමකින් පත්කරගන්නා, අවම තරමේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු හෝ නොවන පුද්ගලයෙකු ජනාධිපති ලෙස ලෙස පත් කර ගැනීමේ තිබෙන සාධාරණත්වයත් බුද්ධිමත් මහජනතාව විසින් සිහි බුද්ධියෙන් යුතුව සිතා බැලිය යුතුය. එසේම සිය පක්ෂයේ පහළ පෙළ මන්ත්‍රීවරුන්ටවත් වග නොකියන විධායක අගමැතිවරයෙකු බිහි කර ගැනීමට යෝජනා කරන්නේ කාගේ වුවමනාවකට අනුවද යන්න පිළිබඳව ජනතාව විසින් ජනතා විමුක්ති පෙරමුණෙන් විමසා සිටිය යුතුය.

Comments

Popular posts from this blog

නවක වධයට තිත තබමු

ජවිපෙ - ගමනක අග

තුමිදු දොඩම්තැන්න බබෙක් ද ? නැත්නම් අපි බබ්බු ද ?