කතානායකයෝ




පසුගිය ඔක්තෝම්බර් 26 වන දා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා විසින් කිසිවෙකු බලාපොරොත්තු නොවූ ලෙස මහින්ද රාජපක්ෂ මහතාව අගමැති ධූරයට පත් කිරීම සමඟ ආරම්භ වූ දේශපාලන කුණාටුව තවමත් හමා යමින් පවතී. ඒ සම්බන්ධව විවිධ පාර්ශවයන් විවිධාකාර මතිමතාන්තර දක්වමින් සිටින අතරතුර කතානායක කරූ ජයසූරිය මහතා විසින් “පාර්ලිමේන්තුව තුල නව පාර්ශවයට හිමි බහුතරය පෙන්වීමට හැකිවන තුරු පෙර පැවැති තත්වය පිළිගැනීමට තමන් කටයුතු කරන බව” නිවේදනය කිරීම කෙරෙහි සියල්ලන්ගේම අවධානය යොමු විය.

මේ අතර මාධ්‍ය සාකච්ඡාවකට සහභාගී වූ හිටපු කතානායක වි.ජ.මු ලොකුබණ්ඩාර මහතා ප්‍රකාශ කොට සිටියේ “පාර්ලිමේන්තුවේ කතානායකවරයකු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අවනත විය යුතු බවත් ව්‍යවස්ථාවේ කතානායක සතු බලතල ඇතුළත් අතර එය උල්ලංඝනය කිරීමක් සිදුවුවහොත් ලැබිය හැකි දඬුවම්ද අන්තර්ගත බවත් ය”. තවදුරටත් අදහස් දැක්වූ ලොකුබණ්ඩාර මහතා “මේ රට පාලනය කළ හිටපු ජනාධිපතිවරුන් පස්දෙනකු අත තිබූ මෙම ව්‍යවස්ථාමය බලය වර්තමාන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සතුවද තිබෙන බව” කියා සිටියේ ය.

කතානායක භූමිකාව පිළිබඳව මේ ආකාරයෙන් කතාබහට ලක් වෙද්දි ජාතික විශ්වවිද්‍යාල ආචාර්ය සංගමය විසින් අල්ලස් හෝ දුෂණ කොමිෂන් සභාවට කතානායක කරු ජයසූරිය මහතාට එරෙහිව පැමිණිල්ලක් ද ගොනු කර තිබේ.

වත්මන් කතානායක කරූ ජයසූරිය මහතා පිළිබඳව පාර්ලිමේන්තුව තුළ ඇති වී තිබෙන අප්‍රසාදය හිටි හැටියේම ඇති වූවක් නොවේ. පසුගිය සමයේ ඒකාබද්ධ විපක්ෂය ලෙස විපක්ෂයේ අසුන් ගෙන සිටි 70 ක මන්ත්‍රී කණ්ඩායම නිල විපක්ෂය ලෙස පිළි නොගෙන මන්ත්‍රී ආසන 16 ක් පමණක් හිමිව තිබූ දෙමළ ජාතික සන්ධානයට විපක්ෂයේ නායක ධූරය ලබා දීම ඔහුට ඇති එක් ප්‍රබල චෝදනාවකි. අණ පනත් සම්මත කිරීමේදී ආණ්ඩුවට වාසි වන අයුරින් ආණ්ඩුවට අවශ්‍ය ඡන්ද ප්‍රමාණය සකස් කර ගැනීමට මන්ත්‍රීවරුන් පැමිණෙන තෙක් ඡන්දය විමසීමට තිබූ කාලය පවා දීර්ඝ කිරීමට කරූ ජයසූරිය කතානායකවරයා කටයුතු කළ බව ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී ගාමිණී ලොකුගේ මහතා පවන ලදි. කෙසේ වෙතත් පුවත්පතක් වෙත සම්මුඛ සාකච්ඡාවක් ලබා දෙමින් කතානායක කරූ ජයසූරිය මහතා කියා සිටියේ තමන් කතානායක ධූරයට පත් වූ දා පටන් සිරිකොත සිය පක්ෂ කාර්යාලය වෙත වත් නොගිය බවයි.

කතානායක තනතුර එංගලන්ත වෙස්මිනිස්ටර් පාර්ලිමේන්තු සම්ප්‍රදාය සමඟම අපේ රටේ පාර්ලිමේන්තු ක්‍රමය තුළ මුල්බැසගත් තනතුරකි. කතානායක ධූරයේ මුඛ්‍ය පරමාර්ථය වනුයේ ආයතනික ස්වාධීනත්වය ආරක්ෂා කරමින් පාර්ලිමේන්තුව තුළ අපක්ෂපාතිව කටයුතු කිරීමයි. න්‍යාය පුස්තකයට කරුණු ඇතුළත් කිරීම, විවාද සඳහා මන්ත්‍රීවරුන්ට අවස්ථාව ලබාදීම සහ කාලය වෙන් කිරීම, ස්ථාවර නියෝග ප්‍රකාරව පාර්ලිමේන්තුවේ විනය ඇතුළු කටයුතු පවත්වා ගෙන යාම, අවශ්‍ය අවස්ථාවලදී සභාවට උපදෙස් දීම මෙන්ම මන්ත්‍රී වරප්‍රසාද ආරක්ෂා කිරීම කතානායකවරයාගේ වගකීම් අතර පවතී.

වත්මන් කතානායකවරයා වන කරූ ජයසූරිය මහතා නිදහස් ශ්‍රී ලංකාවේ 18 වන කතානායවරයා වේ. ඔහුට ප්‍රථමව මෙම ධූරයට පත් වූ කතානයකවරුන් මෙවැනිම මතභේදාත්මක තත්වයන් සාර්ථකව කළමනාකරණය කරගත් අයුරු දැක ගත හැකිය. ඒ අතර අනුර බණ්ඩාරනායකගේ කතානායක භූමිකාව විශේෂයෙන් සිහිපත් කළ හැකිය.

2001 වසරේදී එවක අගවිනිසුරු වූ සරත් එන්. සිල්වා මහතාගේ විෂමාචාර ක්‍රියා පිලිබඳ පැමිණිල්ලක් විභාග කිරීමට තේරීම් කාරක සභාවක් පත් කරන ලෙස විරුද්ධ පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ අත්සනින් කතානායක අනුර බණ්ඩාරනායක මහතාට යෝජනාවක් ලැබී තිබූ අතර ඒ අවස්ථාවේදී ඒ වන විටත් අධිකරණය ඉදිරියේ පැවති මූලික අයිතිවාසිකම් නඩුවක් අවසන් වන තෙක් ඉහත මන්ත්‍රී යෝජනාව සම්බන්ධයෙන් කටයුතු නොකරන්නැයි කතානායකවරයා වෙත අධිකරණයෙන් අතුරු නියෝගයක් පැනවුණි. ඒ අවස්ථාවේදී එවැනි අතුරු නියෝගයක් නිකුත් කිරීමට බලයක් ශ්‍රේෂ්ඨාධිකරණයට නැති බවටත්, ඒ හේතුවෙන් අධිකරණ නියෝගය පිළිපැදීමට තමන් බැඳී නැති බවටත් කතානායක අනුර බණ්ඩාරනායක මහතා තීන්දු කෙළේය. මෙය අද දක්වාම විවිධාකාර අර්ථ නිරුපණයන්ට ලක් වෙන ප්‍රබල තීන්දුවකි.

අනුර බණ්ඩාරනායක මහතා 11 වන පාර්ලිමේන්තුවේ කතානායක ධූරයට පත් වූයේ නිතරඟයෙනි. ඉතිහාසයේ කතානායකවරයෙකු නිතරඟයෙන් පත් වූ පළමු අවස්ථාව ද එයයි. එසේම විපක්ෂයේ මන්ත්‍රීවරයෙකු කතානායක ධූරයට පත් වූ දෙවන අවස්ථාව ලෙසද අනුර බණ්ඩාරනායක මහතාගේ පත් වීම හඳුන්වා දිය හැකිය. විපක්ෂයෙන් කතානායක ධූරයට පත් වූ පළමු වැන්නා වන්නේ 1960 දී එම තනතුරට පත් වුණු ටී.බී සුබසිංහ මහතා ය.

අනුර බණ්ඩාරනායක එවකට එජාප යේ මන්ත්‍රීවරයෙකු වූ අතර 2001 ජූලි 18 දින පැවති චන්ද්‍රිකා රජයට එරෙහිව එජාප ය ප්‍රමුඛ විපක්ෂයෙන් අත්සන් 115 කින් යුත් ලිපියක් කතානායක අනුර බණ්ඩාරනායක මහතාට ඉදිරිපත් කරන ලදි. එවිට වහාම ක්‍රියාත්මක වූ ජනාධිපති චන්ද්‍රිකා මැතිණිය පාර්ලිමේන්තු සැසිවාරය කල් තැබුවා ය. මේ ආකාරයෙන් ආරම්භ වූ දේශපාලන අර්බුධය නිමා වූයේ 2001 ඔක්තෝම්බර් 10 දින ජනාධිපතිනිය විසින් පාර්ලිමේන්තුව විසිරුවා හැරීමෙනි. ඒ තාක් එම පාර්ලිමේන්තුවේ කතානායක ධූරය දරමින් අපක්ෂපාතීව කටයුතු කිරීමට අනුර බණ්ඩාරනායක මහතාට හැකි විය.

2010-2015 සමයේදී 14 වන පාර්ලිමේන්තුවේ කතානායක ධූරය දැරූ චමල් රාජපක්ෂ මහතා ද දේශපාලනික කුණාටු කිහිපයකට මුහුණ දුන්නෙකි. 2013 වසරේදී එවකට අගවිනිසුරු වූ ශිරාණි බණ්ඩාරනායක මහත්මියට එරෙහිව දෝෂාභියෝගයක් ඉදිරිපත් වූ අතර පසුව, කතානායකටද දෝෂාභියෝග විභාග කරන තේරීම් කාරක සභාවේ සාමාජිකයනටද මේ කරුණ සම්බන්ධයෙන් නොතීසි ලැබී තිබිණි. මේ කරුණ පිළිබඳව පාර්ලිමේන්තුවේදී සභානායකවරයා විසින් කතානායකවරයා ඉදිරියේ වරප්‍රසාද ප්‍රශ්නයක් නගන ලදි. ඊට සිය තීරණය ලබා දෙමින් කතානායක චමල් රාජපක්ෂ ප්‍රකාශ කර සිටියේ 2001 ජුනි 20 දින අනුර බණ්ඩාරනායක මහතා ලබාදුන් තීන්දුව අනුවම යමින් පාර්ලිමේන්තුවේ උත්තරීතර බව සුරකින බවයි. ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණයට  නොයන බවත් කතානායකවරයා නිවේදනය කළේය. තමාට හෝ මෙම විශේෂ කාරක සභාවේ සාමාජිකයින්ට හෝ කිසිදු නියෝගයක් නිකුත් කිරීමට පාර්ලිමේන්තුවෙන් පිටත කිසිදු පුද්ගලයෙකුට හෝ ආයතනයකට හෝ බලයක් නැතැයි කතානායකවරයා වැඩි දුරටත් ප‍්‍රකාශ කළේය.

2015 ජනවාරි 08 බල පෙරළිය සිදුවන විටද කතානායක ධූරය දැරුවේ චමල් රාජපක්ෂ මහතාය. සුළුතර මන්ත්‍රී සංඛ්‍යාවක් සහිත එජාපයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා අගමැති තනතුරට පත් කිරීමේදී ද කතානායකවරයා ඉතාමත් මධ්‍යස්ත පිළිවෙතක් අනුගමනය කරන ලදි. 2015 ජුනි 26 පාර්ලිමේන්තුව විසිරවන තෙක්ම ජනාධිපතිවරුන් දෙදෙනකු යටතේ ඔහු කටයුතු කරන ලදි.

1970 – 72 පාර්ලිමේන්තුවේ කතානායක ධූරය දැරූ ස්ටැන්ලි තිලකරත්න මහතා ද, 2004 – 2010 පාර්ලිමේන්තුවේ කතානායක ධූරය දැරූ වි.ජ.මු ලොකුබණ්ඩාර මහතා ද තවත් මතකයේ රැඳුණු කතානායකවරුන් දෙදෙනෙකි. විශේෂයන්ම යටත් විජිත යුගයේ නෂ්ටාවශේෂ වන කතානායක පළඳින අරුමෝසම් තොප්පිය සහ ලෝගුව ඉවත් කිරීමට උත්සාහ කළ දෙදෙනෙකු ලෙස ඔවුන් දෙදෙනා හඳුන්වාදිය හැක. වර්තමානයේදී බ්‍රිතාන්‍ය වෙස්මිනිස්ටර් පාර්ලිමේන්තුව පවා එම ඉපැරණි නෂ්ටාවශේෂ ඉවත් කොට තිබේ.  
නිදහස් ශ්‍රී ලංකාවේ ප්‍රථම කතානායකවරයා වන්නේ ෆ්‍රැන්සිස් මොලමුරේ මහතා ය. ඔහු පාර්ලිමේන්තුවේ අසුන මත සභාව මෙහෙයවමින් සිටියදී රෝගාතුර වී මිය ගිය බව සඳහන් වේ.

ශ්‍රී ලංකාවේ මේ තාක් පත් වූ කතානායක වරුන් පාර්ලිමේන්තුව තුළ සිය අපක්ෂපාතිත්වය රැක ගැනීමට සමත් වී ඇත. මේ තාක් පාර්ලිමේන්තු ඉතිහාසයේ කිසිඳු කතානයකවරයෙකුට එරෙහිව විශ්වාසභංගයක් ගෙන ඒමට සූදානම් වූ බවට හෝ තොරතුරු ලැබී නැත. කෙසේ වෙතත් පවතින තත්වය අනුව වර්තමාන කතානායක කරූ ජයසූරිය මහතාට ඉතිහාසය තුළින් ද යම් යම් පාඩම් උගත හැකි බව සිතිය හැක.

-පැතුම් රණසිංහ-

Comments

Popular posts from this blog

නවක වධයට තිත තබමු

ජවිපෙ - ගමනක අග

තුමිදු දොඩම්තැන්න බබෙක් ද ? නැත්නම් අපි බබ්බු ද ?