ආයුබෝවන් විලේන්ද්‍රන්
එස්.විලේන්ද්‍රන්ට
එක රැයින් දේශප්‍රේමියෙකු වන්නට බැහැ. නමුත් ඔහු අද ඔහුගේ පක්ෂය අත හැරලා ඇවිත්
ඉන්නෙ තනි පුද්ගලයෙකු විදියට. ඉතින් ඔහුව තනි නොකළ යුතුයි. ඕනෑම පුද්ගලයෙකුට
පැමිණිය හැකි ලෙස සකස් වූ පුළුල් ජාතික ව්‍යාපාරයකින් පමණයි මේ රටට අනාගතය වෙත
ගමන් කළ හැක්කේ. මහාචාර්ය නලින් වරක් ප්‍රකාශ කොට තිබුණා “රුවන්වැලි සෑය ළඟට
ගිහිල්ල මේක මගේ උරුමය කියල කියන්න පුළුවන් ඕනම කෙනකුට මේ රට අයිතියි” කියලා. එය
අමූලික සත්‍යක්. මම දකින ජාතික විමුක්ති අරගලයෙ සටන් පෙරමුණ තුළ බෙදුම්වාදය
අතහැරපු දෙමළු, අන්තවාදය අතහැරපු හම්බයො, මූලධර්මවාදය අතහැරපු දෙවාගමිකයෝ කියන
සියලු පාර්ශවයන් සිටිය යුතුයි. ඔවුන්ව ඒක රාශී කරලා පෙළ ගැස්වීමේ වගකීම සිංහලයන්
වන අප සතුයි. අපි තවමත් ඒ වගකීම නිසි බරකින් අරගෙන නැහැ.
දෙමළ
ජාතික සන්ධානයෙන් පාර්ලිමේන්තුවට පත් වූ මන්ත්‍රීවරයෙක් මෛත්‍රී මහින්ද ආණ්ඩුවට එක්
වීම පිළිබඳව අපෙන් ප්‍රශ්න කරන බොහෝ දෙනා කිසිදිනෙක දෙමළ සන්ධානයේ බෙදුම්වාදී ප්‍රතිපත්ති
පිළිබඳව විවේචනයක් නොකරපු අය. අපි දෙමළ ජාතික සන්ධානයේ ජාතිවාදී ප්‍රතිපත්ති විවේචනය
කරන විට මේ පිරිස් අපිව හැඳින්වූයේ ජාතිවාදය අවුස්සා දේශපාලන වාසි ලබාගන්න උත්සාහ
කරන පිරිසක් විදියට. මඩකලපු මන්ත්‍රී එස්. විලේන්ද්‍රන් මෛත්‍රී මහින්ද පාර්ශවයට
සහාය දැක්වීමේදී කිසිඳු කොන්දේසියක් ඉදිරිපත් කරලා නැහැ. ඔහු ඉදිරි යම් දිනෙකදි
බෙදුම්වාදය වෙනුවෙන් පෙනී සිටියොත් ඔහුව විවේචනය කිරීමට අප සතු අයිතියෙත් කිසිම
වෙනසක් වෙලා නැහැ.
කරුණා
අම්මාන් එල්.ටී.ටී.ඊ ය අතහැරලා රජයේ හමුදාවන්ට සහාය දක්වමින් දේශපාලන ප්‍රවාහයට
එක් වීමත් විවේචනය කරන්නේ මේ පිරිසම තමයි. එවැනි අවස්ථාවලදී මේ පිරිස් අපටත් වඩා
දේශප්‍රේමී ස්භාවයකින් පෙනී ඉන්නවා. නමුත් ඔවුන්ගේ සැබෑ අරමුණ පැහැදිලියි. ඔවුන්ට
අවශ්‍ය වන්නේ ශක්තිමත් වන ජාතිකවාදයට ජාතිවාදී විෂ පෙවීමටයි. මේ පිරිසම තමයි අපිට
සංහිඳියාව සහ මානව ප්‍රේමය ගැන උගන්නන හදන්නෙ. ඔවුන් අවස්ථාවාදීන්.
යම්
තිරණයක හොඳ නරක තීරණය කරන්නට වෙන්නේ ඒ තීරණය කොච්චර දුරට ඉලක්කගත අවසාන අරමුණ වෙත
කේන්ද්‍ර වෙනවද නැද්ද කියන කාරණය මත. අපේ අවසාන අරමුණ වෙන්නෙ සියලු දෙනාටම
අභිමානයෙන් ජිවත් විය හැකි, ස්ථාවර සහ ශක්තිමත් රටක් ගොඩ නැගීම. බෙදුම්වාදය, ආගමික
අන්තවාදය සහ ආර්ථික අධිරාජ්‍යවාදයට එරෙහිව සටන් කළ යුතු වන්නේ ඒ දිගු කාලීන අරමුණ
මත ඉදගෙන. රනිල් ප්‍රමුඛ කණ්ඩායමට තවත් වසරක් පාලන බලය හිමි වුණොත් ඒ තුළ අපිට අපේ
අරමුණ වෙත ලඟා වීම ඉතා දුෂ්කර වෙනවා. ඔහුගේ නායකත්වයෙන් සිදු කරන්නට උත්සාහ කරන ව්‍යවස්ථා
සංශෝධන, විස්තීර්ණ විදේශ වෙළඳ ගිවිසුම් ආදී දේ තුළින් සිදුවන විනාශය නැවත හරවන්නට
නොහැකි වේවි.
පසුගිය
අවුරුදු 04 පුරාවටම අපිට කරන්නට සිදු වුණේ රනිල්ගේ කඳවුරෙන් එල්ල කරන ප්‍රහාර
වලක්වා ගැනීමට කටයුතු කරන එක. ඒක ඉතාමත් අසීරු කාරණයක්. ජයග්‍රහණයන් ලබන්නට නම්
ආවරණය කර කර නොඉද අපි විසින් පෙරළා පහර දිය යුතුයි. පහරවල් ආවරණය කර කර ඉදීමෙන්
සිද්ධ වෙන්නෙ අපි නිකරුණේ හෙම්බත් වීම විතරයි.
මෛත්‍රී
ජනාධිපතිවරයා පසු ගිය කාලය මුළුල්ලේම දුර්වලයෙකු විදියට රනිල් චන්ද්‍රිකා පාර්ශවයේ
ග්‍රහණයට නතු වෙලා හිටියා. එදා ජාතික ව්‍යාපාරයේ කණ්ඩායම් විසින් දැවැන්ත විදියට
ගොඩනගපු විරෝධය සහ, අස්ගිරි ප්‍රකාශය නොවන්නට මෛත්‍රී ජනාධිපතිවරයා ආපසු හැරවිය
නොහැකි වරදක් විදියට නව යෝජිත ෆෙඩරල් ව්‍යවස්ථාව ගෙන එන්න මූලිකත්වය ගන්නවා. නමුත්
අද ඔහු කියනවා තමන් බෙදුම්වාදට ඉදිරියට එන්න දෙන්නෙ නැහැ කියලා. මෛත්‍රී
ජනාධිපතිවරයාගේ වචනය පිළිබඳව මට නම් කිසිම විශ්වාසයක් නැහැ. ඒ නිසා අපි තවමත්
ඉන්නෙ විශාල අවධානමක.
උඩරට ආක්‍රමණය
කරපු පෘතුගීසි හමුදාවෙ සෙනවියෙක් වුණු කොනප්පු බණ්ඩාර අවසානයේදී උඩරට සිංහලයන්
එක්ක එකතු වෙලා පෘතුගීසි හමුදාව විනාශ කළා. කොනප්පු බණ්ඩාර කළෙත් දේශපාලනය. දේශපාලනයේ
මූලික සාධකය බලය. ඒත් ඒ වෙලාවෙදි කොනප්පු බණ්ඩාරගේ දේශපාලන භාවිතාව හරි විදියට
කළමනාකරණය කර ගන්න උඩරට භික්ෂූන් වහන්සේලා ප්‍රමුඛ ජාතික ව්‍යාපාරයට හැකි වුණා. ඒ
ව්‍යාපාරයේ ප්‍රතිපලය වුණේ කොනප්පු බණ්ඩාර විමලධර්මසූරිය බවට පත්වෙමින් තවත්
සියවස් 04 ක් උඩරට ස්වාධීනත්වය ආරක්ෂා කරගත් ශක්තිමත් රාජ්‍යක් බිහි කිරීම.
විමලධර්මසූරියලාගේ
කාලෙට වඩා අද දේශපාලනය ඉතා සංකීර්ණයි. ඒත් දේශපාලනයේ මූලික පදනම තවමත් එහෙම්මමයි. දේශපාලනය
කරන්නන්ගේ මූලික අරමුණ බලය බව අපි අමතක නොකළ යුතුයි. ඒ දේශපාලනය කරන්නන්ව ජාතික
අභිලාෂයන් කරා මෙහෙයවීමයි අපේ අරමුණ විය යුත්තේ.
- පැතුම් රණසිංහ -

Comments
Post a Comment