සුමන්තිරන්ලාගේ කෙරුම්කාරකම



2018.12.29 - ටීඑන්ඒ නිල නොලත් නායක ආබ්‍රහම් සුමන්තිරන්ගේ මාධ්‍ය සාකච්ඡාව.

“මහින්ද රාජපක්ෂ පාර්ශවයේ කීප දෙනෙක් කියලා තියනවා නොවැම්බර් 07 වනදා ගෙන ඒමට තිබූ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත නවත්වන්න තමයි මෙම ආණ්ඩු වෙනස සිදු කළේ කියලා. අපි ජාතික රජයක් සෑදීමට සහයෝගය ලබා දුන්නේ එක් අරමුණක් ඇතිව. එම අරමුණ ඉටු නොවන ආකාරයට තමයි ඔක්තෝම්බර් 26 වනදා වෙනසක් සිදු වුණේ. ඒකට අපි විරුද්ධව කතා කළා. රටේ ප්‍රජාතන්ත්‍රවාදය කඩ වෙනවා නම් එය මුලින්ම බල පාන්නේ දෙමළ ජනතාවට. මොකද අපි දේශපාලන විසඳුමක් සොයන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් විවිධ බලයන් පළාත් සභාවලට ලබා දිය යුතුයි. මෙය මධ්‍යම රජය හා ආණ්ඩුකාරවරයා අත නොතිබිය යුතුයි කියලා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේම සඳහන් විය යුතුයි කියලයි අපි බලාපොරොත්තු වෙන්නේ.

දැන් ව්‍යවස්ථාවක් සෑදීමේ කටයුතුවල නියැලෙනවා. පෙබරවාරි 04 වනදාට ප්‍රථම එක්සත් ජාතික පක්ෂයත්, ජනතා විමුක්ති පෙරමුණත්, අපිත් එකතු වෙලා හදපු කෙටුම්පතක් එයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජාතික ආණ්ඩුවෙන් ඉවත් වීමෙන් පසුව පාර්ලිමේන්තුවේ 2/3 ක බහුතරයක් නැති වෙලා තියනවා. නමුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 20 ක් හෝ 21 ක් නැවතත් රජයට එකතු වෙනවා කියලා තිබෙනවා. ඔවුන් ඇතුළේ ගැටුමක් ඇති වෙලා තිබෙනවා. ඔවුන්ගේ පක්ෂ කාර්යාලය වහන්න හේතුවත් එයයි. එලෙස ඔවුන් පැමිණියහොත් අපෙත්, ජනතා විමුක්ති පෙරමුණේත් සහයෝගයෙන් 150 කට වඩා වැඩි පිරිසකගේ සහයෝගය ලැබෙයි.”

සුමන්තිරන්ලා සමඟ කටයුතු කරන සිංහල කතා කරන දේශපාලනඥයින් විසින් දකුණේ ජනතාවගෙන් වසන් කරන කරුණු කිහිපයක් සුමන්තිරන්ගේ මෙම ප්‍රකාශය හරහා හෙළිදරව් වෙලා තියනවා. මෙම කරණා අපි බරපතල ලෙස භාරගත යුතුයි.

පසුගිය ඔක්තෝම්බර් 26 ජනාධිපති සිරිසේන ගත් ක්‍රියාමාර්ගයට අපි සහයෝගය පළ කළේ අද මේ සුමන්තිරන් හෙළි කරන කරුණු පිලිබඳ දැනීමත් ඇතිව. පසුගිය නොවැම්බර් 07 වනදා එජාප, ජවිපෙ, ටීඑන්ඒ සහ එජනිස යේ මෛත්‍රී පාර්ශවයේ සහයෝගයෙන් මේ සුමන්තිරන් සඳහන් කරන ව්‍යවස්ථා කෙටුම්පත පාර්ලිමේන්තුවට ගෙන ඒමට තිබූ බවත් ‘ඔක්තෝම්බර් 26’ ක්‍රියාදාමය හරහා එය වැළකුණු බවත් අපි සඳහන් කරද්දි ඒ ඒ පක්ෂවලට ගැත්තන් වී සිටින අය අපට පැවසුවේ එවන් කිසිඳු දෙයක් නොතිබුණු බවයි. එක්තරා ජවිපෙ සමාජ ජාල ක්‍රියාකාරිකයෙකු වරක් කියා සිටියේ එවන් දෙයක් සිදු වීමට නියමිතව තිබුණේ නම් සිය නායකත්වය නිසැකයෙන්ම තමන්ව දැනුවත් කරනු ඇති බවයි. දේශපාලන පක්ෂවල පහළ ස්ථරයේ අපිට ඇති අභිලාෂයන්ට වඩා එම පක්ෂවල ඉහළ ස්ථරයේ සිටින අයගේ අභිලාෂයන් බොහොම සංකීර්ණ බව අපි කවුරුත් තේරුම් ගත යුතුයි.

කෙසේ වෙතත් ‘ඔක්තෝම්බර් 26’ ක්‍රියාදාමය තුළින් අපි අපේක්ෂා කළ මහමැතිවරණය ලබා ගැනීමට නොහැකි වූවත් එක්සත් ජනතා නිදහස් සංධානයේ මෛත්‍රී පාර්ශවය ජාතික ආණ්ඩුවෙන් ගලවා ගැනීමට හැකි වීම එහි යහපත් ප්‍රවණතාවයක් බව අපේ විශ්වාසය වුණා. ඒ තුළින් එජාප, ජවිපෙ, ටීඑන්ඒ ඇතුළු ෆෙඩරල් ව්‍යවස්ථා පාක්ෂිකයන් හට එම ෆෙඩරල් ව්‍යවස්ථා කෙටුම්පත සම්මත කරගැනීමට අවශ්‍ය පාර්ලිමේන්තු 2/3 බහුතරය අහිමි වූ බව අපේ ගණන් බැලීම වුණා.

කෙසේ වුණත් රනිල්ගේ සුළුතර ආණ්ඩුවට වැඩි වැඩියෙන් ටීඑන්ඒ සංවිධානය මත යැපීමට සිදු වීම රටට ඉතා අයපත් ප්‍රතිපල උදා කරදිය හැකි නිසා දැනට එක්සත් ජනතා නිදහස් සංධානයේ සිටින රනිල්ට හිතවත් මන්ත්‍රීවරුන්ට එජාප සුළුතර ආණ්ඩුව ශක්තිමත් කිරීම සඳහා එජනිස යෙන් පිටවීමට ඉඩ දීම වුවත් සුදුසු පියවරක් බව අපි පුද්ගලිකව විශ්වාස කළා. නමුත් එය ඉතාම වැරදි තක්සේරුවක් බව සුමන්තිරන්ගේ මෙම ප්‍රකාශය හරහා තහවුරු වෙනවා. එජනිස යෙන් මන්ත්‍රීවරු කීප දෙනෙක් එජාප යට එක් වීමෙන් ශක්තිමත් එජාප තනි ආණ්ඩුවක් බිහි වී එහි යහපත් ප්‍රතිපල ජනතාවට ලබා දේවි යයි සිතීම විහිළුවක් බව දැන් පැහැදිලියි. මක්නිසාද මොවුන් ඔවුන්ගේ සියළු ප්‍රයත්නයන් දරන්නේ ශක්තිමත් රාජ්‍යක් බිහි කර ගැනීමට නොවෙයි. රාජ්‍ය දියකර හැරීම තුළින් පුරවැසියා අනාථයන් බවට පත් කිරීමටයි. මෑත කාලීනව දියකර හැරූ රාජ්‍යන් තුළ පුරවැසියන්ට අත් වී ඇති ඉරණම අරාබි වසන්තය දෙස බැලීමෙන් තහවුරු කරගත හැකියි.

කෙසේ වෙතත් එජනිස යේ තවත් 20 ක් හෝ 21 තමන් සමඟ එක් වන බව සුමන්තිරන් ප්‍රකාශ කරනවා. එසේම මහින්දගේ විපක්ෂ නායක ධූරය අභියෝගයට ලක් කරන බවත් මෙම මාධ්‍ය සාකච්ඡාවේම වෙනත් තැනක ඔහු සඳහන් කරනවා. ඔහු මෙම ප්‍රකාශ සිදු කරන්නේ ඉතා විශ්වාසයෙන්. ලංකාවේ දේශපාලනය තුළ සුමන්තිරන්ලාගේ බලය කොපමණද යන්න අපිට හිතා ගන්න වත් බැරි තරම්. අපි මේ කතා කරන මොහොත වන විට චන්ද්‍රිකා සිය කල්ලිය සමඟ ශ්‍රීලනිපයේ බලය අල්ලා ගැනීමේ කුමන්ත්‍රණයක නිරත වී සිටිනවා. මේ සිද්ධි එකිනෙකට වියුක්ත නැහැ. මේවා සියල්ලක්ම එකිනෙකට සම්බන්ධයි.

උතුරු නැගෙනහිර පළාත් එක් කිරීමට විරුද්ධව උසාවි ගියේ ජවිපෙ ය. එම අතීතයට මම මාගේ ගෞරවය පුද කරනවා. එසේම ජවිපෙ බිම් මට්ටමේ සාමාජිකයන්ද තවමත් එය සිහිපත් කරන්නේ ගෞරවයෙන් බව අපි දැකලා තියනවා. නමුත් මෙම මාධ්‍ය සාකච්ඡාවේම තැනක සුමන්තිරන් සඳහන් කරනවා ජවිපෙ වර්තමාන නායකත්වය උතුරු නැගෙනහිර පළාත් ඒකාබද්ධ කිරීමට සහාය දීමට එකඟ වී ඇති බවට. බිම් මට්ටමේ අපේ අභිලාෂයන්ට වඩා ඉහළ මට්ටමේ දේශපාලඥයින්ගේ අභිලාෂයන් සංකීර්ණ බව පමණක් මම නැවත මතක් කරන්නම්.

දේශපාලන පක්ෂ කෝණයෙන් නැතුව මේ ගැන විවෘත්තව බැලීම අපේ යුතුකමක්. කවදා හෝ එළබෙන මැතිවරණයකදී අපි එකිනෙකාගේ කැමැත්ත අනුව පක්ෂයකට බලය ලබා දිය හැකියි. ඒත් රටක් නැත්නම් පක්ෂයකින් පලක් තිබේද යන්නත් මදක් සිතා බලන්න.

ෆෙඩරල් ලබා දුන්නම රටක් නැති වෙන්නෙ කොහොමද කියලා ඔබ මගෙන් අහවි. ලංකාවේ වාර්ගික අර්බුධය දේශපාලන වුවමනාවන් ඇති වූ බවට සැකයක් නැහැ. එහි විකාශනය පිලිබඳ අපි කතා කරලා තියනවා. මෙහිදී ප්‍රශ්න කීපයකට ඔබ ඔබෙන්ම පිළිතුරු විමසන්න.
·         දෙමළ ජනතාවට සේවය කිරීම අවශ්‍යතාවය නම් උතුරු නැගෙනහිර ඒකාබද්ධ කිරීම අත්‍යවශ්‍ය වන්නේ ඇයි?
·         පළාතක් තුළ සරල බහුතරයකින් ස්ථාපිත කරන නීතියක් වෙනස් කිරීමට මධ්‍යම ආණ්ඩුවට 2/3 ක් අවශ්‍ය වන්නේ ඇයි?
·         පළාත් ආණ්ඩුවකට වෙනම බඳවාගෙන පුහුණු කරනු ලබන පොලිස් හමුදාවක් අවශ්‍ය වන්නේ ඇයි?
·         අප එකම රටක වැසියන් නම් එක් පළාතක ඉඩමක් වෙනත් පළාතක වැසියෙකුට ලබා දිය නොහැකි ලෙස පළාත් සභාවට ඉඩම් බලතල පැවරිය යුතු වන්නේ ඇයි?
·         මධ්‍යම රජයේ අනුදැනුමකින් තොරව පළාත් ආණ්ඩුවට විදේශ ආධාර ලබා ගත හැකි විය යුත්තේ ඇයි?
·         පළාත් ආණ්ඩුව රටේ ප්‍රධාන නීතිය උල්ලංඝනය කරන අවස්ථාවක එය විසුරවා හැර එහි බලය මධ්‍යම ආණ්ඩුවට පවරා ගැනීමට දැනට ජනාධිපතිවරයාට ඇති බලතල ඉවත් කරන්නේ ඇයි?
·         වර්ග කිලෝමීටර් 65,000 ක කුඩා රටක් වෙන වෙනම පළාත් ආණ්ඩු 09 ක් නඩත්තු කරමින්, ඒවා තුළ එක් එක් විෂයන් සඳහා වෙන වෙනම අමාත්‍යංශ නඩත්තු කරමින්, ඒවායේ වෙන වෙනම අමාත්‍යවරුන් නඩත්තු කරමින් විශාල මුදලක් අපතේ හරින්නේ ඇයි?

මේ සියළු කාරනා පසෙක තබා උතුරු නැගෙනහිර ඒකාබද්ධ කොට ෆෙඩරල් බලතල ලබා දුන්නත් ඉන් දෙමළ සංධානයේ බෙදුම්වාදී වියරුව නවතින්නේ නැහැ. ඔවුන් නිසැකයෙන්ම බලතල සහිතව වෙනම ඊළම වෙනුවෙන් ඊළඟ පියවර තබාවි. ඊළාම් රාජ්‍ය දිනා ගත්තත් මෙම අර්බුධය නිම වන්නේ නැහැ. එතැන් පටන් දීර්ඝ දේශසිමාවක් ආරක්ෂා කිරීම වෙනුවෙන් විශාල පිරිවැයක් දරමින් නිරන්තරයෙන් එම දේශසීමාවේ මායිම් කණු වෙනුවෙන් සටන් කරන්නට ඊළඟ පරම්පරාවට සිදු වේවි.

සුමන්තිරන්ලාගේ වර්තමාන උපාය සාර්ථක වුවහොත් මේවා නිසැකයෙන්ම සිදු වෙනවා. තිබෙන්නේ කාලය පිලිබඳ ප්‍රශ්නයක් පමණයි. මේ පවතින ව්‍යුහය තුළ දෙමළ තමිල් ජනතාවට සහ අපට එක්ව අනාගතය කරා ගමන් කළ හැකියි. මේ ඊනියා දේශපාලන විසඳුම් තුළින් සිදු වන්නේ උතුර සහ දකුණ තව තව දුරස් වීම පමණයි.

මහින්දලා, රනිල්ලා, සම්බන්ධන්ලා දවසක මැරෙනවා, ඊට පස්සෙ අපි මැරෙනවා. අපි අද නිහඬව සිටිනවා කියන්නෙ අපේ ඊළඟ පරපුරට විසඳාගත නොහැකි ප්‍රශ්නයක් අපි විසින් ඉතිරි කරලා යනවා කියන එකයි. මේ පෙබරවාරි 04 ට කලින් සුමන්තිරන්ලා ගෙන එනවා කියන ෆෙඩරල් ව්‍යවස්ථාවට අපි විරුද්ධ විය යුත්තේ ඒ නිසයි.

Comments

Popular posts from this blog

නවක වධයට තිත තබමු

ජවිපෙ - ගමනක අග

තුමිදු දොඩම්තැන්න බබෙක් ද ? නැත්නම් අපි බබ්බු ද ?